Tuesday, June 21, 2016

Ford GT40 හෙවත් කාර් ලෝකේ සබඳ පබිලිස් සීන් එක


අපි කාගේත් යාළුවෝ නෑදෑයෝ අතරේ ඉන්නවා මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරනකල් නින්ද යන්නේ නැති එකෙක්. සාමාන්‍ය පන්තියේ එවුන් අල්ලපු ගෙදර එකාට වලක් කපලා සැනසෙන අතරේ හෙන්රි ෆෝඩ් II (ඔරිජිනල් හෙන්රි ෆෝඩ් ගේ මුණුබුරා සහ එඩ්සල් ෆෝඩ් ගේ පුතා)  වගේ දැවැන්ත හාදයෝ කරන්නේ එන්සෝ ෆෙරාරි වගේ දැවැන්තයන්ට වල කපලා සැනසෙන එකයි. 

දැන් මම මෙහෙම කියපු ගමන් ෆෝඩ් ෆෑන්ස් ලා ගේ දත්සෙට් එකට කටකට ගාලා එකට වදිනවා මට ඇහෙනවා. කරන්න දෙයක් නෑ බ්‍රෝ. GT40 සීන් එක එහෙම ගෞරවණීය සීන් එකක් නෙමෙයි. ඒක ඔය සමහර කට්ටිය ආතල් එකට කිව්වට ධනපති පන්තියට එරෙහිව වැඩකරන පන්තියේ ජයග්‍රහණයකුත් නෙමෙයි. ෆෝඩ් වැඩකරන පන්තියේ බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ සමාන්තර විශ්වයක වෙන්න ඕනා. මොඩ්ල් ටී එක ආපු පලියට, මහජනතාවට වාහනයක් හඳුන්වලා දෙන්න පුරෝගාමී වෙච්ච පලියට බ්‍රෑන්ඩ් එකක් වැඩකරන පන්තියේ බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ නෑ. 

වැඩකරන පන්තිය! ... තමා!

හැබැයි එකක්. Ford GT40 කියන්නේ පට්ට කාර් එකක්. ඒක ආයේ ඉතිං ෆෙරාරිට වත් නෑ කියන්න පුළුවන් දෙයක් නෙමෙයි...

හෙන්රි ෆෝඩ් Ford GT40 එක හදන ප්‍රොජෙක්ට් එක පටන්ගත්තේ ෆෙරාරි සමාගම අයිති කරගන්න ගහන්න ගිය ඩීල් එකකට විඩක් කැමති වෙලා හිටපු, ෆෙරාරි සමාගමේ නිර්මාතෘ වුණු එන්සෝ ෆෙරාරි අන්තිම මොහොතේදී විඩක් අකමැති වුණු නිසා. ෆෙරාරි ගේ ජීවිතයයි ආත්මයයි වුණේ racing. එන්සෝ මේ ඩීල් එකට කැමති වුණෙත් රේස් වලට කාර් ඩිවෙලොප් කරන්න සල්ලි හොයන්න කියලා කියනවා. ෆෙරාරි බලාපොරොත්තු වුණේ සාමාන්‍ය රෝඩ් කාර් සම්බන්ධ බිස්නස් එක ෆෝඩ්ලට කරන්න ඉඩ ඇරලා රේසිං වැඩේ එයා කරගෙන යන්න. 

හැබැයි රේසිං වලට ඩොලර් 10,000 කට වැඩිය වියදම් කරනවා නම් Detroit වලින් අහන්න ඕනේ කියලා ෆෝඩ්ලා ගිවිසුමට වගන්තියක් දැම්මා. අන්තිමට අල්ලපු එකයි පයගහපු එකයි දෙකම නැතිවෙන බව එන්සෝ දැනගත්තා. 

අන්තිම කටේදී 'විඩක් අකමැතියි' කියලා එන්සෝ කිව්වා. ඩීල් එක එතනින් කෙළවුණා. 

ඉතිං එන්සෝට යන එන මං නැතිකරන එක දෙවෙනි හෙන්රි ෆෝඩ් ලොක්කා තමන්ගේ ජීවන අභිප්‍රාය බවට පත්කරගත්තේ මෙන්න මෙතන ඉඳන්. 



හෙන්රි ෆෝඩ් මිලියන ගාණක් සල්ලි වියදම් කරලා, කැරොල් ෂෙල්බි (ෂෙල්බි ගැන ලියනවා වෙනම ලිපියක් ලියන්න පුළුවන්. මෙයා ලෝකේ ප්‍රසිද්ධම Car designer එකෙන්. රේසිං ලෝකෙත් යෝධයෙක්. ඒ වගේම ව්‍යාපාරිකයෙක්. ෂෙල්බි මස්ටෑන්ග් එකත් මෙයාගේ වැඩක් තමයි. මෙයා ගැන දන්න අය දන්නවා. නොදන්න අයටයි මේ හැඳින්වීම කළේ) වගේ අයත් එක්කහු කරගෙන, මහා පරිමාණ ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා ෆෙරාරි ව සුප්‍රකට Le Mans පැය 24 රේස් එකේදී පරද්දන්න.මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රතිඵලය තමයි Ford GT40 කාර් එක.

GT40 එක ඉස්සරලාම ගේමට බැස්සේ 1964 දී. හැබැයි 1966 වෙනකල් Le Mans දිනාගන්න එයාලට බැරිවුණා. මේ කතාවත් වැඩි දෙනෙක් කියන්නේ නැහැ. GT40 එක ඉස්සරලාම Le Mans දින්නේ 1966 දී. එදා මුල් ස්ථාන ඔක්කොම ටික දිනාගන්න GT40 එකට පුළුවන් වුණා. 

එදා ඉඳන් පිටපිට අවුරුදු 4 ක් GT40 එක ෆෙරාරිව පැරැද්දුවා. 



1980 ට පස්සේ ෆෝඩ් Le Mans බැස්සේ නැහැ කියලයි The Detroit News වාර්තා කරන්නේ. නමුත් 2004 දී ෆෝඩ් සමාගම ඔරිජිනල් GT40 එක සැමරීමක් විදිහට අලුත් Ford GT version එකක් හඳුන්වලා දුන්නා. මේක ඔරිජිනල් කාර් එකට වඩා අඟල් 3 ක් විතර උසයි. හැබැයි අවංකවම පිළිගන්න ඕනේ, ඒක අති විශිෂ්ට ප්‍රතිනිර්මාණයක්! කාර් එක ප්‍රැක්ටිකල් නැති බව ඇත්ත (තෙල් බොනවා, හසුරුවන්න අමාරු තරමට අලි විසාලයි, ගැජට් බැජට් වහා කැඩෙන සුලුයි, etc.). හැබැයි ඒක පිස්සු හැදෙන තරමට ලස්සනයි. 



GT40 එක ගැන ලියන්න හිතුණේ ඊයේ පෙරේදා ආපු අලුත් ආරංචිය නිසා (මේක Ford සමාගම 2015 දී නිවේදනය කරලා තිබුණේ. ඒත් ඉතිං ඕවා වෙනකල් ෂුවර් නෑ නේ. අර ඩීල් එක වගේ!). ඔන්න Ford GT40 එක දශක ගාණකට පස්සේ මේ අවුරුද්දේ ආපහු Le Mans බහිනවා.මේක වෙන්නේ 1966 ලබපු ජයග්‍රහණයට අවුරුදු 50 ක් පිරෙන එක සැමරීමක් විදිහටයි.


දැනට තියන ආරංචියේ හැටියට පළවෙනි වටේදීම (GTE Pro racing class එකේදී) 1, 3 සහ 4 ස්ථාන දිනාගන්න GT40 එක සමත් වෙලාලු. බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. 

මම තාමත් හිතන්නේ හෙන්රි ෆෝඩ් කරපු වැඩේ පමණ ඉක්මවා ගිය, උද්දච්ච, මානාධික, අලුගුත්තේරු වැඩක් කියලයි. 

හැබැයි ප්‍රතිඵලේ නම් කොල්ලෝ, සදාකාලිකව අසමසමයි! 

(කාරුණික දැනුම්දීමයි:Ford කියන්නේ සුපිරි කාර් ගොඩක් ලෝකෙට දායාද කරපු සමාගමක්. ඒ නිසා ෆෝඩ් ෆෑන්ස්ලා ෆෝඩ් බ්‍රෑන්ඩ් එක ගැන දක්වන ලාලසාව සම්බන්ධයෙන් මට කිසිම ගැටලුවක් නැහැ. නමුත් එදා මෙදාතුර ෆෝඩ් සමාගම අනිත් අයත් එක්ක ඩීල් කරද්දී අමුතු වැඩ කරපු වාර අනන්තයි. ඒ නිසා මට ගැටලුව තියන්නේ එයාලගේ politics එක්ක. මාව ෂුවර් නැත්නම් නිකමට වගේ Robert Kearns කියලා ගූගල් එකේ සර්ච් කරලා බලන්න).


(https://www.facebook.com/CarPissuwa/)

Monday, June 13, 2016

උපාසක ගෙදර නසරානියා - Nissan GT-R




ඔන්න එකමත් එක කාලෙක පිටිසරබද ගම්මානෙක උපාසක ගෙදරක් තිබුණා. මේ ගෙදර මිනිස්සු ඕන වෙලාවක බැලුවොත් පන්සලේ. ඒ වගේම කාටවත් බොරු සද්ද දැමිලි, රණ්ඩු කිරිලි මෙයාලගේ නෑ. ගමේ කවුරුත් කිව්වේ මෙයාලා හරි හොඳ මිනිස්සු කියලා තමා. මෙයාලට ඉපදුණු දරුවොත් මෙයාලා වගේම හරිම සන්සුන්, පාඩුවේ ඉන්න, මදුරුවෙක් වත් නොමරන මිනිස්සු. ඉඳලා හිටලා පොඩ්ඩක් දඟලපු කොල්ලෙක් කෙල්ලෙක් හිටියත් මෙයාලා ඒ ගැන වැඩිය පිටට ආරංචි වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඔය අතරේ 1969 දී විතර මේ පවුලේ ඉස්සරට වැඩිය බරපතළ දඟයෙක් උපන්නා. මූ ගැනත් ගමේ එච්චර කතාබහක් තිබ්බේ නෑ. මූ ඔහේ උගේ පාඩුවේ සතෙක් මරාගෙන, එකෙක්ගේ දෙන්නෙක්ගේ හොම්බට ඇනගෙන ජීවත් වුණා. ඔහොම දශක දෙකතුනක් ගියාම 2007 දී මූටත් පුතෙක් උපන්නා. පුතණ්ඩියා වැඩ පටන්ගත්තේ ගමටම සද්දේ දාලා. දැන් නම් ගමම පුතණ්ඩියට බයයි වගේ. ගමේ මිනිස්සු අහනවා ඇවිදින එකත් පොළොවට නොදැනෙන්න ඇවිද්ද පවුලකට කොහොමද මේ වගේ එකෙක් උපන්නේ කියලා... 

පුතණ්ඩියගේ නම Nissan GT-R... 

(අනතුරු ඇඟවීම: ජනකතාව අවසානයි. මෙතනින් එහාට තියන දේවල් බෝරිං නොවෙන්නේ GTR එකක් දෙනවා කිව්වොත් පිටකොටුවේ 24/7 මුට්ට කරගහන්න වුණත් ලෑස්ති අපි වගේ හාල්පාරුවන්ට විතරයි)

මේ දවස්වල කාර් ලෝකයේ හැමෝම කතාකරන්නේ GT-R එක ගැන. මේ කාර් එකේ අලුත්ම වර්ෂන් එක සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ මාකට් එකට එනවා. මේ ගැන රිවීව් එකක් ලියන 'ඔටෝ කාර් ඉන්දියා' එකේ Hormazd Sorabjee (මෙයාගේ නම සිංහලෙන් ලියන්න මම දන්නේ නෑ. හින්දි ෆෑන්ස්ලා කමත්වා!) දකුණු ආසියානු කලාපයේ ළිංවලට වෙලා ජීවත් වෙන අපි බොහෝ දෙනෙකුගේ හිතට නැගෙන ප්‍රශ්නයක් අකුරුවලට නගනවා. එයා කියන්නේ Nissan GT-R එකට ඉන්දියාවේ කරන්න වෙලා තියෙන්නේ සනී සහ මයික්‍රා වගේ (ජරා) කාර් හදන සමාගමකට මේ වගේ සුපිරි වැඩත් කරන්න පුළුවන් කියලා ඔප්පු කරන එකයි කියලා ('ජරා' කතාව මගේ). ඒ කියන්නේ උපාසක ගෙදර නසරානියෙක් ඉපදිලා කියලා ලවුඩ්ස්පීකර් දාලා කියන එක තමයි.

Nissan GT-R එක 2007 දී ආවට ඇත්තටම ඔරිජිනල් Nissan Skyline GTR එක ආවේ 1969 දී. Skyline කියන නම මුලින් Prince කියන කාර් කොම්පැනියට අයිති වෙලා තිබුණු නමක්. මුලින් ස්වාධීන කොම්පැනියක් හැටියට තිබුණු ප්‍රින්ස් එක පස්සේ Nissan-Datsun සමාගමට අයිති වුණා. GTR එක ඉස්සරලාම ආවේ දොර 4 කාර් එකක් විදිහට, අශ්ව බල 160 ක 2.0 L DOHC එන්ජිමක් එක්ක. GTR කියන්නේ Gran Turismo Racer කියන එක කෙටි කිරීමක්. 



Skyline GTR එක 5th Generation එක වෙද්දී සම්පූර්ණ වෙනස් කාර් එකක්. ඒක ඉස්සරලාම මාකට් එකට ආවේ 1999 දී. ඒක ඇමරිකාවට ආවේ 2568cc inline 6 cylinder twin turbo එන්ජිමක් එක්ක කියලා gtrnissanskyline.com වෙබ් අඩවියේ තියනවා. දොර 2 යි. පවර් එක 205.8 kw / 276.0 bhp @ 6800 rpm. මේවා ලංකාවෙත් 'සමහරු' ගාව තිබුණු සහ තියන නිසා ලංකාවේ අයට මේක අමුත්තක් නැහැ.



2002 අවුරුද්දෙන් පස්සේ මේක හදන එක නිසාන් සමාගම නැවැත්තුවා. මේ කාර් එකට එතකොටත් මරාගෙන මැරෙන fan club එකක් තිබුණු නිසා කට්ටිය ඒ ගැන හිටියේ බොහොම දුකෙන්. මේ වෙනකොට නිසාන් හිටියේ ලොකු මූල්‍ය අර්බුදයක. 

1996 දී Carlos Ghosn කියන කෙනා Renault සමාගමට එකතුවුණා. 1999 දී තමයි Ranult-Nissan Alliance එක ආරම්භ වුණේ. මේක ක්‍රමෝපායික හවුල්කාරීත්වයක්. ඒ කියන්නේ  strategic partnership එකක්. Ghosn ටික කාලෙකින් මේ සමාගම් දෙකේ ප්‍රධාන විධායක නිලධාරියා විදිහට පත්වුණා. මැරෙන්න ගිය නිසාන් එකට පණ දුන්නේ මේ Ghosn. මේ නිසා 'Fortune' සඟරාව 2002 දී එයාට 'වසරේ ව්‍යාපාරිකයා' සම්මානයත් පිරිනැමුවා. ඒ වගේම එයා ජපානයේ බොහොම ජනප්‍රිය චිත්‍ර කතා වර්ගයක් වන Manga Comics වල පවා ජනප්‍රිය වුණු සැබෑ ලෝකයේ සුපර් හීරෝ කෙනෙක් බවට පත්වෙලා ඉන්නේ.  

Nissan GT-R එක ආපහු ගෙන්න ඕනේ කියලා තීරණය කළේ Ghosn. එයාගේ ඉලක්කය වුණේ Porsche 911 Turbo එකට ගේමක් දෙන්න පුළුවන් වාහනයක් ජපානයෙන් එළියට දාන එකයි. අවුරුදු 5 ක මහන්සියකින් පස්සේ 2007 දී Nissan GT-R එක එළියට ආවා.මේකේ සම්පූර්ණ කතාව ගැන National Geographic Channel එකෙන් ලස්සන documentary එකක් කරලා තියනවා. කැමති නම් ඒක YouTube එකේ බලන්න පුළුවන්. 

දැන් ඔන්න මේ GT-R එකේ අලුත්ම Version එක ඇවිත් තියනවා. ඇමරිකාවේදී Nismo edition එකේ (Nismo කියන්නේ නිසාන් සමාගමේ in-house tuning අංශය. මේ නම හැදිලා තියෙන්නේ Nissan Motorsport International Limited කියන එක කෙටි වෙලා) මූලික මිල සඳහන් කරලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 149,990 ක් විදිහට. මේක 600hp කාර් එකක්. Torque එක 481 lb-ft. එන්ජිම 3.8-liter, high-capacity twin-turbocharged V6 එකක්. වීල් සෙට් එක
NISMO® Black 20" super-lightweight RAYS® forged-alloy wheel. ඇඬෙනවා නේ?





Nismo එක ගන්න බැරි අයට නම් මේ තරම් ඇඬෙන options හම්බවෙන්නේ නැහැ. Nisan News වෙබ් අඩවියේ GT-R එකේ වර්ගවල මිලගණන් සඳහන්කරලා තිබුණේ මෙහෙමයි. 

GT-R Premium $101,770 USD
GT-R 45th Anniversary Gold Edition $102,770 USD
GT-R Black Edition $111,510 USD
GT-R NISMO $149,990 USD

මේක ලංකාවට නිල වශයෙන් එනවද කියන එක මට තහවුරු කරගන්න බැරිවුණා. නිසාන් ශ්‍රී ලංකා එක මේක තහවුරු කරන්න කැමති නම් ලොකු දෙයක්. කොහොම වෙතත් වෙන වෙන මාර්ග වලින් මේක ඉක්මනටම ලංකාවට ඒවි. සමහර විට දැනටමත් ඇවිල්ලත් ඇති. ඔයාලා කවුරුහරි ගාව තියනවා නම් comment එකක් දාන්න. විහිළුවට නෙමෙයි ඇත්තටම කියන්නේ!

Thursday, June 9, 2016

ජූනි 12 වෙනිදා ඔබ්සර්වර් එක්ක Torque & Throttle එනවා!



මෙන්න කාර් සහ බයික් පිස්සුව තියෙන අයට කන්න හිතෙන ආරංචියක්! Torque & Throttle සඟරාවේ මුද්‍රිත පිටපත් පළවෙනි වතාවට මේ සති අන්තයේ, ඒ කියන්නේ ජූනි 12 වෙනිදා Sunday Observer පත්තරේ එක්ක නොමිලේ දෙන්න යනවා. ඒ නිසා ඉරිදා උදේම ගිහින් ඔබ්සර්වර් එක ගන්න අමතක කරන්න එපා.

සාමාන්‍යයෙන් ලංකාවේ බොහොම තදට කාර් පිස්සුව තියන කෙනෙකුට Torque & Throttle කියන නම අමුතු දෙයක් නෙමෙයි. Torque & Throttle කියන්නේ සාමාන්‍ය car magazine එකකට එහා ගිය දෙයක්. එයාලා විශේෂයෙන්ම අන්තර්ජාල අවකාශයේ බොහොම active. මේකට සාක්කි ඕන නම් Torque & Throttle Sri Lanka කියලා google එකේ ටයිප් කරලා බලන්න. එයාලාගේ වෙබ් සයිට් එක තියනවා. ෆේස්බුක් එකවුන්ට් එකක් තියනවා. Youtube චැනල් එකක් තියනවා. Twitter එකේ ඉන්නවා. Instagram ඉන්නවා. තව ඕන නම් තව කියන්නම්. 

Torque & Throttle ඇත්තටම රථවාහන සංස්කෘතිය සම්බන්ධ ජීවන විලාසිතා, ඒ කියන්නේ Lifestyle මැගසින් එකක්. මේක ආරම්භ වුණේ 2014 දෙසැම්බර් 07 වෙනිදා කියලා තමයි එයාලගේ විස්තර වල සඳහන් වෙන්නේ. මේ සඟරාව ඇත්තටම මෙච්චර කල් පැවතුණේ e-magazine එකක් විදිහට. ඒ නිසා මේක එයාලගේ වෙබ් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මාස දෙකකට වතාවක් තමයි මේක පළවෙන්නේ. 


ශ්‍රී ලංකාවේ කාර් සංස්කෘතිය ගැන වගේම ලෝකේ කාර් සංස්කෘතිය ගැනත් ගොඩක් විශේෂාංග මේකට ඇතුළත් වෙලා තියනවා. කාර් ප්‍රොජෙක්ට්, performance වැඩිකරගන්න විදිහ, ලෝකේ අලුත් කාර් ප්‍රවණතා, විශේෂ කාර් වර්ග වගේ දේවල් මේකෙන් ඔයාලට කියවන්න පුළුවන් (මම බයික් පිස්සෙක් නොවන නිසා බයික් ගැන මොකුත් කියන්න යන්නේ නැහැ. හැබැයි බයික් ගැනත් මේකේ තියනවා).  

ඒ වගේම තාක්ෂණික තොරතුරු, කාර් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්, වාහන හරියට නඩත්තු කරන විදිහ සහ ඇත්තටම කාර් වලට ආදරේ කරන විදිහ වගේ දේවලුත් මේකට ඇතුළත්. ඊට අමතරව රටේ වාහන එළවන්න හොඳම පාරවල්, රටේ පැවැත්වෙන කාර් සංස්කෘතියට සම්බන්ධ වැදගත් උත්සව වගේම වාහන ලෝකයේ කැපී පෙනෙන අය ගැනත් මේකේ විස්තර තියනවා. ඒ නිසා මේක කාර් පිස්සන්ට අත්පොතක් වගේ.

මේක කරන්නේ ඇත්තටම කාර් පිස්සෝ ටිකක්. මෙයින් සමහර අය කාර් සංස්කෘතියට සහ මෝටර් රථ ක්‍රීඩා වලටත් සම්බන්ධයි. එයාලා මේක කරන්නේ රහගුණ හරියට දැනගෙන. ඒ නිසා ඔයාලට මේ වැඩේ ගැන බය නැතුව විශ්වාසය තියන්න පුළුවන්. 

ඔන්න මම ආරංචිය දුන්නා. එහෙනම් 2016 ජූනි 12 වෙනිදා ඔබ්සර්වර් පත්තරේ ගන්න අමතක කරන්න එපා. ඒ වගේම පත්තරේ ඇතුළේ මැගසින් එක තියනවද බලන්නත් අමතක කරන්න එපා. 

(මේක දැන්වීමක් නෙවෙයි. මේක කරන කට්ටිය මගේ යාලුවොත් නෙමෙයි. මේක ගැන මට එයාලගෙන් තොරතුරු ලැබුණෙත් නැහැ. මේක සිංහලෙන් ලිව්වේ රටේ කාර් සංස්කෘතිය ගැන සිංහලෙන් ලියවෙන දේවල් බොහොම අඩු හින්දයි. Torque & Throttle එකෙන් ඔයාලගේ දැනුමට වැදගත් දෙයක් එකතු වෙනවා නම් සහ කාර් පිස්සුව උත්සන්න වෙනවා නම් මට එච්චරයි). 

සඟරාවේ 5 වෙනි කලාපය ඩවුන්ලෝඩ් කරගන්න මේ ලින්ක් එකට යන්න. 

http://www.torqueandthrottle.net/

මේ තියෙන්නේ එයාලගේ ෆේස්බුක් පේජ් එක: 

https://www.facebook.com/torqueandthrottle

ඒ වගේම මගේ ෆේස්බුක් පිටුවගොඩවෙලා ලයික් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. 

https://www.facebook.com/CarPissuwa/


Thursday, June 2, 2016

ඔයාට Prii වුණාට අපිට Prii නෑ හරිද! (වාහන Models වලට නම් දාන හැටි...)




ලොතරැයි දැන්වීමක් දකින වාරයක් ගානේ අපේ මිනිස්සු ජොලියට කියන දෙයක් තමයි දැන් ලොතරැයි වලට දාන්න නම් නෑ කියන එක. මොකක් හරි හේතුවකට කොළඹ ඇවිත් ඇවිත් වැඩේ කරගන්න බැරුව මල පැනලා යන අහවල් වත්තේ රංජි අයියා ලොතරැයි කොම්පැනියක් ඉස්සරහින් 'අම්මට ...' කියලා බැනගෙන ගියොත් පහුවෙනිදා ඉඳන් 'කෝටි ගණන් තෑගි ගෙනෙන අම්මට ...' කියලා ලොතරැයියක් එනවා. තත්ත්වේ මේ වෙනකොට ඒ තරම්ම pathetic... 

කාර් වලට නම් දාන වැඩෙත් හරියට ඒ වගේ. අතීතයේ නම් මේවයේ අමුතු ගතියක් තිබුණා. ෆෝඩ් තන්ඩර් බර්ඩ්, ෂෙව්රලේ කමාරෝ, පොන්ටියැක් ෆයර් බර්ඩ්, ෆෝඩ් මස්ටෑන්ග් වගේ නම් අදටත් අපි මතක් කරන්නේ ගෞරවයකින් වගේ. මේ බොහොමයක් කාර් එහෙම විශිෂ්ට කාර් නෙමෙයි. Performance අතින් ගත්තාම මේවා තෙල් බොන, වංගු ගන්න අමාරු, නඩත්තු කරන්න ගියාම පණ එපාවෙන කාර්. එත් මේවා iconic. එහෙම iconic වෙන්න ඒවාට දාන මාදිලි නාමත් යම්තාක් දුරකට බලපානවා. අදටත් කාර් කොම්පැනි තමන්ගේ අලුත් වාහන මාදිලිවලට නම් දාන්න ඩොලර් 50,000 විතර ඉඳන් ඉහලට වියදම් කරන්නේ ඒ නිසයි.නමුත් අද කොම්පැනි වලට තියන ලොකුම ප්‍රශ්නේ තමයි හොඳ හොඳ නම් ගොඩක් දැනටමත් භාවිතා වෙලා තිබීම. ඒ නිසා හරියටම හරියට නමක් හොයාගන්න එයාලා බොහොම desperate...

ෆෝඩ් තන්ඩර් බර්ඩ් කියන නම තිබ්බේ ඇල්ඩන් ගිබර්සන් කියන කාර් සැලසුම් ශිල්පියා බව CNN වෙබ් අඩවියේ 2008 අවුරුද්දේ පළවුණු ලිපියක තියනවා. ඒ 1954 අවුරුද්දේදී. තමන්ගේ අලුත් කාර් මාදිලිය නම් කරන්න ෆෝඩ් සමාගම පවත්වපු තරගයකින් ගිබර්සන් ජයග්‍රහණය කළා ලු. ඒ වෙනුවෙන් එයාට ඩොලර් 95 ක් වටින සූට් එකකුයි ඩොලර් 42 ක් වටින කලිසමකුයි හම්බ වෙලා තියනවා. 



අද දවස වෙනකොට ගොඩක් කාර් කොම්පැනි වෙනුවෙන් එයාලගේ අලුත් වාහන මාදිලි නම් කරන්නේ ඒ සමාගම්වල  දැන්වීම්කරණ කටයුතු සිදුකරන ආයතනයි. මේ පිළිබඳව අත්දැකීමක් විලියම් ජීන්ස් 2011 දී ඔටෝබ්ලොග් වෙබ් අඩවියේ ලියලා තියනවා. එයා ඒ කාලයේ ෆෝඩ් සමාගමේ දැන්වීම් කටයුතු සිදුකරපු ඒජන්සියේ වැඩ කළා. ෆෝඩ් ටෝරස් (Taurus) එක නම්කරපු කණ්ඩායමේ එයත් වැඩකරලා තියනවා. 

Advertising ගැන නොදන්නා සමහර අය හිතන විදිහට නමක් දානවා කියන එක ඒ තරම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තම කියනවා නම් නමක් දානවා කියන එක සම්පූර්ණ කැම්පේන් එකක් කරනවාටත් වඩා අමාරු වෙන්න පුළුවන්. ටෝරස් එක නම් කරපු කාලයේ මීටින් ඇදිඇදී ගිය විදිහට තමන්ට එපා වුණා කියලා ජීන්ස් කියනවා. කට්ටිය කොච්චර depress වුණාද කියනවා නම් එයා එකපාරක් විහිළුවක් විදහට 'හවර්ඩ්' (Howard) කියන නමත් යෝජනා කළා ලු. ඇඩ් මැනේජර්ට එපාවෙච්ච තරම කියනවා නම් එයා ෆෝඩ් සමාගමේ පනස් ගණන්වල අතිශයින් අසාර්ථක වුණු කාර් මාදිලියක නමක් වෙන 'එඩ්සල්' (Edsel) නම ගේමු කියලා යෝජනා කරලා තියනවා. අන්තිමට කට්ටිය එකඟ වෙලා තියෙන්නේ, ෆෝඩ් සමාගමේ ඉංජිනේරුවෝ මේ අලුත් කාර් එක ඩිවෙලොප් කරන කාලයේ නිකමට වගේ පාවිච්චි කරපු ටෝරස් කියන නමටමයි. 



මේ ගැටලුව සාමාන්‍යයෙන් මර්සිඩීස් බෙන්ස් සහ BMW  වගේ සමාගම්වලට ඇතිවෙනවා අඩුයි. මොකද එයාලා තමන්ගේ වාහන අතරින් බහුතරයක් නම් කරන්න සම්මත ක්‍රමයක් පාවිච්චි කරනවා. 

BMW එකේ ක්‍රමේ සරලයි. එයාලා එක ලෙවල් එකක් Series කියලා හඳුන්වනවා. ඒ අනුව 1 series ඉඳන් 7 series එනකල් එයාලාගේ වාහන තියනවා. මේවායේ prestige එක වැඩිවෙන්නේ අංකයේ වටිනාකම වැඩිවෙන තරමටයි. ඒ අනුව සුඛෝපභෝගී සහ specs වැඩිම series එක තමයි 7 series එක (මේක සාමාන්‍යකරණයක් බව ඇත්ත. උදාහරණයක් හැටියට කෙනෙකුට 5 series එකේ higher spec වාහනයක් 7 series එකේ basic වාහනයකට වඩා හොඳයි කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් මූලධර්මයක් විදිහට ගත්තාම 3 හෝ 5 series වලට වඩා 7 series එක ඉහළයි).

මීට සාපේක්ෂව මර්සිඩීස් බෙන්ස් පාවිච්චි කරන්නේ Class කියලා ක්‍රමයක්. මේක නම් දැන් අතිශයින් සංකීර්ණයි. ඒක විස්තර කරනවා නම් වෙනම ලිපියක් ලියන්න වෙනවා. ඒ නිසා E Class, C Class, S Class, A Class විදිහට එයාලගේ වාහන එන බව දැනට මතක තියාගන්න. මේ දෙගොල්ලන්ගේම වාහන මාදිලිවල වෙනස්කම් වලට තවතව අතිරේක ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් එකතු වෙනවා. BMW E36 M3 සහ Mercedes SLK 350 AMG මේවට උදාහරණ විදිහට පෙන්නන්න පුළුවන්. BMW එකේ lineup එක ගැන නම් ඔයාලට Wikipedia බැලුවත් ඉගෙනගන්න පුළුවන් වේවි. නමුත් මර්සිඩීස් බෙන්ස් එකේ ක්‍රමේ ඉගෙනගන්න නම් ඒ ගැන පශ්චාත් උපාධියක් කරන්න වෙනවා.

මේ අතර සමහර සමාගම් තමන්ගේ වාහනවලට නම් තියන්න තාමත් තරග තියනවා. උදාහරණයක් විදිහට ලංකාවේ අපි කවුරුත් දන්න (සමහර විට ලෝකේ boring ම කාර් එක කියලා කට පුරා කියන්න පුළුවන්) නිසාන් සනී එකට නම තිබ්බේ තරගයකින් පස්සෙයි. මේකට අදාළ දැන්වීම ඩැට්සන් සමාගම (පස්සේ නිසාන්) පළකළේ 1966 ජනවාරි පළවෙනිදා තරම් ඈතකදී. ඒකට යෝජනා මිලියන 8.48 ක් ආපු බව නිසාන් ග්ලෝබල් වෙබ් අඩවියේ සඳහන් වෙනවා. සනී කියන නම තෝරගෙන තියෙන්නේ ඒ අතරිනුයි. 

ඒ වගේම ටොයෝටා සමාගමේ Prius එකට බහුවචනයක් හොයන්නත් එහෙම ජනතාවගේ අදහස් ගත්තා. මේක කරන්න හේතුව වුණේ ප්‍රියස් කියන එක ලතින් වචනයක් වීමයි. ප්‍රියස් කියන්නේ ලතින් භාෂාවෙන් 'පුරෝගාමී' වගේ තේරුමක් දෙන නමක්. ලතින් වලින් මේකේ බහු වචනය වෙන්නේ Priora කියන එකයි. නමුත් Priora කියන එක ඒ වෙනකොටත් Lada Priora වාහනේට භාවිතා වෙලා තිබුණ නිසා ටොයෝටා සමාගමට එක භාවිතා කරන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් එයාලා ජනතාවගේ අදහස් විමසුවා.



අන්තිමට ජයගත්තේ Prii කියන වචනයයි. ඒ කොහොම වුණත් තාමත් සාමාන්‍ය භාවිතයේදී අපි කවුරුත් Prius එකේ බහු වචනය Priuses කියලා භාවිතා කරනවා. මොකද ටොයෝටා එකට මඤ්ඤං වුණාට අපට මඤ්ඤං නෑ. 

මේ මාතෘකාව ගැන ලියනවා නම් තව ගොඩක් දේවල් ලියන්න පුළුවන්. දැනට මම මේ ලිව්වේ වාහන මාදිලි නම් කරන ක්‍රියාවලියේ පසුබිම ගැන. මේවායේ රස කතා ටිකක් හොයලා පස්සේ දවසක දාන්නම්. 

(මේ විෂය ගැන අවධානය යොමුකරවීම සම්බන්ධයෙන් අරුණ පෙරේරාට මගේ ස්තුතිය)