Friday, July 29, 2016

ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප්!




මම කවදාවත් ඕෆ් රෝඩ් වාහන ගැන එච්චර උනන්දු වුණු කෙනෙක් නෙමෙයි. මම මගේ මුළු ජීවිතයම මෙතෙක් ගෙවුවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ. ආවේ ගියේ වැඩි හරියක් ගාලු පාරේ. ඉතින් ඉස්කෝල වෙලාවට, ඔෆිස් වෙලාවට, උද්ඝෝෂණ වෙලාවට, ඇමතිලා යන වෙලාවට, මගුල් තියන වෙලාවට, පෙරහැර යන වෙලාවට, වේල් කරත්ත යන වෙලාවට, බක්කි කරත්ත යන වෙලාවට, බූමිතෙල් කරත්ත යන වෙලාවට, වාහන එළවන හරක් යන වෙලාවට වගේ හැම වෙලාවටම ට්‍රැෆික් තියන, වේග සීමාව 50 ට සීමාවුණු, ඕඩියන් එක ගාව ඉඳන් විලියම් එක ගාවට යන්න පැයක් විතර යන, බයික් සහ ත්‍රීවීල් මැස්සෝ මදුරුවෝ වගේ සයිඩ් කන්නාඩි සිඹගෙන ඉගිල්ලෙන, සහ පොලිස් කාරයෝ වීදි ගණිකාවන්ට පිටිපස්සෙත් හැංගිලා ඉන්න පාරක යන්න සත්තු බලන්න යන වාහන අරගන්නේ මොන මගුලටද කියන එක තමයි මගේ තර්කෙ වුණේ. 

නමුත් මම ඕෆ් රෝඩ් වාහනවලට විරුද්ධ කෙනෙකුත් නෙමෙයි. (මම SUV කියන වචනේ පාවිච්චි නොකරන්නේ දැනුවත්ව. SUV කියන එකේ දැනට පවතින අර්ථය තරමක් නවීන සංකල්පයක් මත පදනම් වෙච්චි එකක්. අඩු තරමින් ඒක මහා පරිමාණයෙන් ආකර්ෂණීය සංකල්පයක් වුණේ මෑතකදී. ඒක ළමයි ඉස්කෝලේ ගෙනියන අතරේ ඉඳහිටක පිට්ටනියක වාහනේ පදින්න පුළුවන් කියනවා වගේ සංකල්පයක් කියන එක ඕවා එළවන අය දන්නවා. ඒ නිසා මම මේ කියන්නේ ඇතුළට Victoria's Secret ඇඳලා උඩින් ආමි කිට් ගහලා ඉන්න වාහන ගැන නෙමෙයි. මම කතාකරන්නේ ඇත්තටම මීමුරේ යන්න සහ, උන්ට ළමයි ඉන්නවා කියල පාරේ වාහන යන්න බැරිවෙන්න බම්පර් දාන දෙමව්පියෝ ඉන්න පාරක යන්න පුළුවන් ටයිප් එකේ වාහන ගැන). මගේ ඉස්කෝලේ යාලුවෙක් ඉන්නවා දැන් ඕස්ට්‍රේලියාවේ, ෆිල් කියලා. ඌ ඒ රටේ වාහන මඩේ දාලා ගන්න ආතල් එක දැක්කම මට ආසාවේ බෑ. ඌට කවර් කරන්න ඇරියස් නෑ. ඒ නිසා ඒක ඇත්තටම ස්වභාව ධර්මය සහ මනුෂ්‍ය නිර්මාණ අතර සටනක්. ඒකයි මම ඒකට කැමති.



ඕෆ් රෝඩ් වාහන අතරින් මගේ ආසාව තිබුණේ මිට්සුබිෂි ජීප් එකට විතරයි. විලිස් එක ගැන ආදරයක් තිබුණත් ගොඩක් ඒවාට 4DR5 ඔබලා තියන නිසා සහ ඔරිජිනල් තත්ත්වේ තියන ඒවා ගන්න නම් දැනට තියන දේපළ වගේම අනාගතේ ගන්න ඉන්න දේපළත් විකුණන්න වෙන නිසා මම ඒ ගැන එච්චරම හිතුවේ නැහැ.

ඕෆ් රෝඩ් වාහන ගැන මගේ හිතේ තියන පුංචි හරි ආසාව එන්න ඇත්තේ මම පුංචි කාලේ අපි හිටපු ගෙදරකට අල්ලපු ගෙදර තිබුණු එක්තරා වාහනයක් නිසා. මට මතකයි ඒ ගෙදර වත්තේ පැත්තකට එක්තරා සැන්දෑවක තඩිම තඩි වාහනයක් පහළ වෙලා තිබුණා. ඊට කලින් මම ඒ වගේ වාහනයක් දැකලා තිබුණේ නැහැ. ඒක ළඟට ගිහින් හිටගත්තාම මට දැනුණේ  අර මායා බෝංචි වැල කතාවේ (ඒක වැල කතාවක් නෙමෙයි. ඒ කාලේ කොහෙද ඒවා කියවන්නේ!) ඉන්න යෝධයව. තඩි රෝද හතරක් දාලා, කළු සහ රතු පාට ගාලා, ඒ මදිවට තඩි ඒරියල් එකකුත් ගහලා තිබුණා වගේ මතකයි. හැබැයි මට බයක් හිතුණේ නැහැ. ඒක විකුණන්න තියනවයි කියලා තාත්තා කිව්වම මම ඒක ගමු කියලා කරදර කරන්න ගත්තා. තාත්තා හිනාවෙලා නිකං හිටියා.

ඒ වෙනකොට පහළ මැද පන්තියේ ඉඳන් ඉහළට එන්න තාත්තා දහදුක් විඳිමින් ඉඳලා තියන බව මම දැන් දන්නවා. ඩ්‍රයිවින් පුළුවන් වුණු ගමන් තාත්තා ලන්ච් බ්‍රේක් එකේදී එළවන්න ගත්තේ එයා එතකොට වැඩකරපු ෆැක්ටරියේ තිබුණු ඩබල් කැබ් එක කියලා මට මතකයි. එයා ඔය වගේ වාහනවලට ආසාවෙන් ඉන්න ඇති සමහර විට. නමුත් මගේ ආසාව තිබුණේ කාර් පැත්තට නිසා එයා මොකුත් නොකියා ඉන්න ඇති.

ඒක එයාගෙන් අහන්න අද එයා ජීවතුන් අතර නැහැ...

මට නිසාන් පැට්‍රෝල් එක මීටර් වුණේ අහම්බෙන් වගේ. සාමාන්‍යයෙන් මම ikman එකේ නිසාන් කාණ්ඩේ ඇතුළට යන්නේ නැහැ. මගේ ශ්‍රී ලාංකික යාලුවෝ කාටවත් නිසාන් පැට්‍රෝල් ඇත්තෙත් නැහැ. එහෙම වාහනයක් තියනවා කියලා දැනගෙන හිටියට ඒ ගැන වැඩිදුර හොයන්න මට බැරිවුණා. වාහනේ මට මීටර් වුණේ දවසක් පාරේ ට්‍රැෆික් එකකදී 160 එකක් කනේ ගෑවෙන්න ගත්තට පස්සේ. සාමාන්‍යයෙන් ඔය කාලේ හදපු අනික් ජීප්වලින් එන ගෝසාව ඒකෙ එන්ජිමෙන් ආවේ නැහැ කියලා මට හිතුණා. අනික බොහෝ ඕෆ් රෝඩ් වාහන බලෙන් ටෆ් ලුක් එක ආරෝපණය කරගත්තු ඒවා වුණාට, මේක එච්චර දුරකට මොඩිෆයි නොකරම හොඳ intimidating ලුක් එකක් තියෙනවා කියලත් මට හිතුණා. මම පැට්‍රෝල් එක ගැන ටිකක් උනන්දු වුණේ ඊට පස්සේ.  



ඔහොම ඉන්නකොට දවසක් පානදුර ටවුන් එකේදී මට පැට්‍රොල් එකක් මුලිච්චි වුණා. ඒ වෙලාවේ මම යාලුවෙක් එක්ක මහපාරේ සමාජ විවේචන සෙෂන් එකක් දාගෙන හිටියේ. ඌ හෙන දරුණු විදිහට රට යා යුතු අත ගැන කතා කරනවා. මම ඌට රස්තියාදු නොගහා හරිහමන් රස්සාවක් සොයා ගැනීමේ වැදගත්කම පැහැදිලි කරනවා. උගේ අදහසක් තිබුණා වාහන අරන් විකුණන බිස්නස් එකකට බහින්න. ඌට  අනුව 'මුදල් හදිස්සියක්' කියලා දාපු ගමන් පොඩි මාජින් එකක් තියලා ගොඩදාගන්න පුළුවන්. ඔය අතරේ තමා මම පැට්‍රෝල් එක දැක්කේ. මම ඒ පැත්ත බලනවා දැකලා ඌ නොසන්සුන් වුණා.

"කෙල්ලෙක්ද??"

"නිසාන් පැට්‍රෝල් එකක් බං..."

"කෝ...?"

"අර තියෙන්නේ..."

මම ඌට වාහනේ පෙන්නුවා. චුට්ටක් විතර දුරින් ඒක පාරේ තියාගෙන විකුණන කුණු තක්කලි සහ ඇකිලිච්ච වම්බටු ගොඩවල් මැද්දෙන් සන්සුන් හස්ති රාජයා වගේ හෙමින් හෙමින් පෙරට ඇදෙනවා. ඒක මට මතක හැටියට 31 හෝ 32 ප්ලේට් එකක් තිබුණු පැට්‍රෝල් එකක්. මූ ඒක බලලා මං දිහාට හැරුණා.

"ඕක පැට්‍රෝල් නෙමේ බං ඩීසල්. අනේ උඹ දන්න ජීප්..." ඌ නක්කලීය (නක්කලීය යනු නක්කලේ යන නාම පදයෙන් සෑදෙන නාම විශේෂණ පදයකි) වොයිස් එකකින් කිව්වා.

ඌට රස්තියාදු නොගහා හරිහමන් රස්සාවක් සොයා ගැනීමේ වැදගත්කම ආයේ පාරක් අවධාරණය කරලා මම යන්න ගියා.

මේ සිදුවීම් සහ පහුගිය කාලේ අලුත් නිසාන් පැට්‍රෝල් එක ලංකාවට හඳුන්වා දීම වගේ හේතුත් එක්ක පැට්‍රෝල් එක ගැන මගේ උනන්දුව ටිකක් වැඩිවුණා. වාහනේ ඉතිහාසය ගැන earlydatsun.com වෙබ් සයිට් එකේ ගිය විස්තරයක් නිසාන් ලංකා පේජ් එකේ ඊයේ පෙරේදා සිංහලෙන් දාලා තිබුණු නිසා මම ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ. සංක්ෂිප්තව කියනවා නම් මේක මුලින්ම ආවේ 1951 දී 4W60 එක විදිහට. ඒකේ තිබුණේ 3.7l එන්ජිමක්. පවර් එක 75 hp. ටොප් ස්පීඩ් එක 100 kmph. (earlydatsun.com වෙබ් සයිට් එකේ මිට්සුබිෂි ජීප් ගැන කියල තියන විස්තර සම්බන්ධයෙන් මට ගැටලුවක් තියනවා. ඒ ගොල්ලෝ කියලා තියෙන්නේ මිට්සුබිෂි එක විලිස් එකේ CJ3-A එක අවසර නැතුව කොපි කළා කියලා. නමුත් මිට්සුබිෂි එක ජීප් එක හැදුවේ විලිස් එකේ පූර්ණ බලපත්‍ර ඇතුව, විලිස් එකේ කිට්ස්ම පාවිච්චි කරලා කියලයි මම දන්නේ. මේ පොදු මූලාශ්‍රවලින් මම ඉගෙනගෙන තියන හැටි. ඒ නිසා විස්තර හොයන්න කැමති අය earlydatsun එකට සීමා නොවී වෙන මූලාශ්‍රත් පාවිච්චි කරන්න).






1953 වෙද්දී විලිස් එකේ ලයිසන් එක්ක මිට්සුබිෂි එක තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක යටතේ ජීප් එක මාකට් එකට දැම්මා. නිසාන් එක තරග කළේ මේකත් එක්ක. කොහොම වුණත් වැඩේ ටික ටික දියුණු වෙලා ගිහින් 1980 වෙද්දී අර මම ආසා 160 එක සහ 1986 දී 260  එක ආවා. අද වෙනකොට වාහනේ තියෙන්නේ 6 වෙනි ජෙනරේෂන් එකේ. මේකට දැන් කියන්නේ Y62 සීරීස් එක කියලා. සාමාන්‍යයෙන් පැට්‍රෝල් එක අරාබි රටවල සෑහෙන්න ජනප්‍රිය නිසා සහ මේක ටොයෝටා ලෑන්ඩ් කෲසර් එක එක්ක ඩිරෙක්ට් වලියකට බැහැලා ඉන්න නිසා, ඩ්‍රයිව් ඇරේබියා වෙබ් එකෙන් ගත්තු specs list එකක් මෙතන දානවා.


Nissan Patrol 2016 Specifications

Country of Origin

Japan

Class

Premium Large SUV


Body Styles

5-door wagon

Weight (kg)

2695 - 2795


Version

Performance

Engine

Gearbox

Power (hp)

Torque (Nm)

Fuel Econ (l/100km)

0-100 kph (sec)

Top Speed (kph)

5.6 V8 4WD
5.6 V8 4WD
5A/6M
7A
320
400
521
560
15.8
14.5
8.2
6.6
200*
200*

75 hp වලින් පටන්ගත්තු වාහනේ දැන් 400 hp වෙනකල් ඇවිත්. මේකේ මම ආසම දේ තමයි දැන් ඩීසල් එන්ජිම නැතුව 5.6 V8 පෙට්‍රල් එන්ජිමක් විතරක් එන එක. ඒ වගේම අරාබියේ සල්ලිකාරයෝ සහ වැලි ලෝලියෝ මේ වාහනේ ගැන හොටු පෙරාගෙන සෙනෙහස පාන වාර්තා වැඩසටහනකුත් මම කාලෙකට උඩදී බැලුවා. එතැනදී එක්කෙනෙක් කියනවා කාන්තාරෙට ගිහින් යහතින් එන්න නම් ඉතින් නිසාන් එකක්ම අරන් යන්න ඕනේ කියලා. ඒ වගේම පැට්‍රෝල් එක නිසාන් එකට කොයිතරම් වැදගත්ද කියන එක නිසාන් එකේ සභාපති Carlos Ghosn ඉතාම අපූරුවට පැහැදිලි කරනවා (Carlos Ghosn කියන්නේ මම කොන්දේසි විරහිතව ගෞරව කරන චරිතයක්. පාඩු ලබාපු නිසාන් සමාගම ගොඩදාන්න සහ, ඊට පස්සේ නිසාන් GTR එක බිහිකරන්න ඒ මනුස්සයා දරපු උත්සාහය ඒකට පැහැදිලි හේතුවක් විදිහට දක්වන්න පුළුවන්). මේ වාර්තා වැඩසටහන තාම යූටියුබ් එකේ ඇති. ඔයත් වැලි ලෝලියෙක් නම් හොයාගෙන බලන්න.

හැම කෙනෙක්ම ලෝකේ තියන හැම වාහනේකටම ආසා නැහැ. අපි හැමෝටම preferences තියනවා. උදාහරණයක් විදිහට VW එකේ Touareg එක මෙලෝ රහක් ඇති වාහනයක් නොවුණට අලුත් පැට්‍රෝල් එකකුයි Touareg එකකුයි දීලා එකක් තෝරගන්න කිවුවොත් මම තෝරාගන්නේ Touareg එක. නැත්නම් මම අලුත් මොන්ටේරෝ ස්පෝර්ට් එකක් ඉල්ල ගන්නවා. අනික් අතට BMW ලෝගෝ එක තියන ඇක්සයිස් පොතක් දැක්කත් සල්ලි දීලා ගන්න මම BMW එකේ SUV වලට ආසා නැහැ. මර්සිඩීස් එක SUV හදන එක මට තාමත් පේන්නේ විකාරයක් වගේ. 

හැබැයි එකක්. ඔන්න දැන් තමයි කතාවේ ට්විස්ට් එක එන්නේ. ඔහොම හිතන් ඉන්න අතරේ තමයි නිකමට යූ ටියුබ් බලද්දී මම දැක්කේ පැට්‍රෝල් එකේ නිස්මෝ එඩිෂන් එක ඇවිල්ලා තියනවා කියලා. නිස්මෝ කියන්නේ නිසාන් එකේ ටියුනින් ඩිවිෂන් එක කියලා දන්නවනේ. ඉතිං ඔන්න එකපාරටම ලෝකේ අනික් පැත්තට භ්‍රමණය වෙන්න පටන් ගත්තා. ඒ වීඩියෝ එකට ගිහිං බැලුවාම අරාබි කාරයෙක් බස් බස් ගාලා හුළං පිටකරකර මොනවාද කියනවා. ඒකෙ වැඩිදුර නොගිහින් මම නිසාන් පැට්‍රෝල් නිස්මෝ කියලා ගහලා බැලුවා. දෙවෙනි වීඩියෝ එකක් අහුවුණා. වීඩියෝ එකේ බුවා වාහනේ ස්ටාට් කරලා බලමු කිවුවා. මම අහගෙන හිටියා. මොකෙක් හරි එකෙක් වාහනේ ස්ටාට් කළා. කැමරාව සහ මයික් එක තිබුණේ සයිලන්සරේ ගාව...

අර මේ දවස්වල බුකියේ නිතර දකින්න තියන, ටයන්නෙන් පටන් අරන් කේ යන්නෙන් ඉවර වෙන එක තමා! 

වාහනේ පණ ගැහුවේ හරියට සිංහබාහු නාට්‍යයේ ඔරිජිනල් ඇක්ටර් 'සිංහබා' කිව්වා වගේ ගාම්භීර සද්දයක් දාගෙන. ඊට පස්සේ උන් එකින් එක පෙන්නුවා වීල් සෙට් එක සහ  සුදුපාට වාහනේ රතු පාටින් දාලා තියන නිස්මෝ වැඩකිඩ වගේ දේවල් ටික. ඔයා සීරියස් නිසාන් SUV හෝ නිස්මෝ ෆෑන් කෙනෙක් නම් කවුරුවත් නැති තැනකදී මේ වීඩියෝ එක බලන එක ඇඟට ගුණයි. නැත්නම් ගෙදර හරි ඔෆිස් එකේ හරි මිනිස්සුන්ට ඔයා දාන සද්ද ටික ඇහුණට පස්සේ ටට්ටටටා ටාටමිඩා කන්න තමා වෙන්නේ.  





මේක මැද පෙරදිග රටවලටම විශේෂයෙන් Develop කරපු වාහනයක්. මෙන්න specs ටික. 

Nissan Patrol Nismo 2016: Specifications:

year:  2016
make:
Model:
Engine: V8
Horsepower: 428
Displacement: 5.6 L
0-60 time:6 sec. (Est.)
Top Speed:155 mph (Est.)

මීට අමතරව 2015 දී නිසාන් පැට්‍රෝල් ඩෙසර්ට් එඩිෂන් කියලා එකක් ආවා. මේක 2015 ඩුබායි මෝටර් ෂෝ එකේදී ලෝන්ච් කරපු, මැද පෙරදිග රටවලට විතරක් සීමා වෙන එඩිෂන් එකක්. මේක ගැන රිලීස් කරපු මරු ප්‍රෝමෝ වීඩියෝ එකක් තියනවා පහළ. වීඩියෝ එක අරාබි වලින් තියෙන්නේ සබ් ටයිට්ල් එක්ක. අරාබි වලින් කියනකොටත් පොඩි කිළිපොලා යන ගතියක් තියනවා. හොඳ හෙඩ් සෙට් එකක් දාගෙන අහන්න. එතකොට තමයි ගතිය දැනෙන්නේ. නිකං කම්පියුටරේ සද්දේ දාගෙන ලොතරැයි කූඩුව වගේ අහන්න එපා.



 
හැබැයි අපේ ආසාවල් මොනවා වුණත්, අසූ ගණන්වල ආපු පැට්‍රෝල් එකක් පාරේදී දැක්කොත් අපි බොහෝ දෙනෙකුට නිකම්ම බැලෙනවා. මගේ ඇහැට අනුව පැට්‍රෝල් එකේ 5th Generation එකේ සහ 6th Generation එකේ සාමාන්‍ය වර්ෂන් වාහන 4th generation එක දක්වා ආපු වාහන වලට වඩා අම්බානක කැතයි. ඒ මට පේන හැටි. ලස්සන කියන දේ සාපේක්ෂයි. හැබැයි කවද හරි Nismo එකක් ලංකාවට ආවොත් මොනවා වෙයිද කියන්න මම දන්නේ නෑ. 

ඒ වෙලාවට එතනින් අනුෂ්කා ෂර්මා විරාත් කෝලිගේ කරේ නැගලා ගියත් අපට පේන එකක් නෑ.



www.facebook.com/CarPissuwa


පසු සටහන: 

කතාව පුරාම පට්‍රෝල් කියලා ලියන්නේ නැතුව පැට්‍රෝල් කියලා ලිවුවේ සිංහල ඇස්වලට ඒ විදිහ වඩා හුරු නිසා. වෙන භාෂාවලින් ආපු වචන වල ආරම්භයේ තියන සංවෘත්ත ස්වර පෙන්නන්න ක්‍රමයක් සිංහල භාෂාවේ නැහැ. පසු සටහන ලිවුවේ ලිපියේ අන්තර්ගතයට අකමැති වුණාම සමහරු භාෂාවේ වැරදි අල්ලගන්න ට්‍රයි කරන නිසයි.


Thursday, July 21, 2016

දේ සී මී රෝලින්



බස් ගැමුණු ස්ට්‍රයික් කරපු දවසට, කෝච්චි ඩ්‍රයිවර්ලා බීලා ගුටිකාපු දවසට, ධීවරයෝ මලපැනලා බෝට්ටු රේල් පාරට ගෙනාපු දවසට, සහ මේ වගේ තවත් කාලකන්නි දවස් වලට ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් කියවෙන වාක්‍යයක් තියනවා.

"මරුටියක් වත් තිබුණනං...!"

කවුරුහරි යාන්තමට ඔලුව උස්සගෙන එනවා වගේ පෙනුණාම, සතියකට පාරක් දෙපාරක් ෆ්‍රයිඩ් රයිස් කනවා දැක්කාම, ගෙදරට හාමුදුරුවෝ වඩම්මලා දානයක් එහෙම දුන්නාම ඒ මනුස්සයාගේ හිතවත්තු සාමාන්‍යයෙන් කියන වාක්‍යයක් තියනවා.

"දැන් ඉතින් මරුටියක් වත් ගත්තනං හොඳයි..."

ක්ලැසික් කාර් එකක් අරගෙන ෆුල් ආතල් එකේ දුවන්න කියලා හිතාගෙන ඉඳලා, එක පාරට මග නැවතිලා එතන ඉඳන් බාසුන්නැහැ අරක ගේන්න මේක ගේන්න කියනකොට, පංචිකාවත්තේ එවුන් වැට් වැඩියි කියලා, බඩු අඩුයි කියලා, මූණ සුදුයි කියලා ගණන් උස්සනකොට,  ශරීරාංග විකුණලා බඩු ගෙනල්ලත් ලෙඩේ හරියන්නේ නැතිකොට,  බොහෝ දෙනෙකුට නිකම්ම කියවෙන වාක්‍යයක් තියනවා.

"මෙන්න මේ මගුල දීලා දාලා මරුටියක් වත් ගත්තනං ඉවරයි..."

මේ විදිහට බැලුවාම මරුටිය කියන්නේ නිකං මධ්‍යම පන්තියට කුණු කරෝල වගේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්. අපේ රටේ මරුටියට එළ වන්ඩිය කියන්න කවුරුවත් නෑ. ඒ වුණාට මරුටියක නොගිය කෙනෙකුත් නෑ...

අර ට්‍රේඩ් මාක් ඉන්ටීරියර් රෙද්ද

මටත් මරුටිය එක්ක කවදාවත් ආත්මීය බැඳීමක් තිබිලා නැහැ. එහෙම බැඳීමක් තිබුණු අය මම දන්නෙත් එකම එක්කෙනයි. ඒ අපිට කවදත් උදවු පදවු කරන අපේ කවිකාර ලෝයර් සජීවනී අක්කා. එයා තමයි මේ ලෝකේ මම දන්නා එකම කෙනා මරුටියක් විකුණලා තව මරුටියක් ගත්තු. එයාගේ යාලුවෝ එයාට කියන්නේ ඕක ඉන්දියාවට දැනුම් දුන්නොත් එයාට භාරත් රත්න සම්මානේ හම්බවෙනවා කියලා...

සජීවනී අක්කගේ පරණ මරුටිය සහ මගේ බීට්ල් එක (ප්‍රොජෙක්ට් එකට කලින්)

මම ඩ්‍රයිවින් පුරුදු වුණේ මරුටියකින්. ඒක වුණෙත් මයුර ලර්නර්ස් එකේ මරුටියක් තිබුණු නිසා. එයාලා මට ඉස්සරලාම දවසේ සුසුකි එව්රියක් එළවන්න දීලා පස්සේ දවසේ ඉඳන් මරුටිය දුන්නා. එව්රියේ ඉඳලා මරුටියට මාරු වුණාම මට දැනුණේ පලංචියක ඉඳලා බංකුවට මාරු වුණා වගේ හැඟීමක්. කොහොම හරි වාහනේ පොඩි නිසා, ගියර් මාරුව එහෙම වැඩි අමාරුවක් නැතුව කරන්න පුළුවන් නිසා, පුරුදු වෙද්දී වේගේ ගැන වදවෙන්න ඕනේ නැති නිසා මරුටිය මගේ හිතට ඇල්ලුවා. හැබැයි මම කවදාවත් මරුටියට ආදරේ කරන්න පටන් ගත්තේ නෑ.

ඩ්‍රයිවින් අතට හුරු වුණාට පස්සේ මම ගත්තේ ලාන්සර් බොක්ස් එකක්. ඊට පස්සේ ෆොක්ස්වැගන් දෙකක් සහ මොරිස් මයිනර් එකක්. ඉතින් මරුටියකට මගේ හදවතේ බිම් අඟලක් වත් ඉතුරු වුණේ නැහැ. හැමදාමත් මරුටිය කියන්නේ මල ජරාවක් කියන තැන තමයි මම හිටියේ. "මෙන්න මේ මගුල දීලා දාලා මරුටියක් වත් ගත්තනං..." කියපු වෙලාවල් නම් ඉස්සර තිබුණා. නමුත් ඒක හදිසි කෝපය නිසා කියපු දෙයක් මිසක් සීරියස් කරන්න හිතපු දෙයක් නෙමෙයි.


කේ නොම්මර මරුටියක්

මගේ මේ දැඩි අන්තවාදී අදහස වෙනස් වුණේ මරුටි සුසුකි (ඉස්සර මරුටි උද්යෝග්) සමාගමේ සභාපති ආර්. සී. භාර්ගවා (සහ සීතා කියන මාධ්‍යවේදිනිය) ලියපු 'The Maruti Story- How a public sector company put India on wheels' කියන පොත කියෙව්වට පස්සේ. ඉන්දියාවට පොදු ජනතාවගේ වාහනයක් හොඳ ප්‍රමිතියක් එක්ක හඳුන්වලා දෙන්න කාපු එක එක හැඩයේ කටු ගැන ඒ පොතේ හොඳට විස්තර කරලා තියනවා. ඒක ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ දැක්මකින් ලියපු එකක් බව ඇත්ත. උදාහරණයක් හැටියට සමහර කම්කරු ප්‍රශ්න, සේවක ප්‍රශ්න සහ අමතර කොටස් සැපයුම් ප්‍රශ්න විසඳන්න ගන්න වුණු දැඩි ක්‍රියාමාර්ග ගැන ඒකෙ තියෙනවා. ඒ වුණාට ඉන්දියාව වගේ රටකට නවීන තාක්ෂණය හඳුන්වලා දෙද්දී හතර පෝයට අටපාරක් සිල්ගන්න මානසිකත්වෙන් ඕක කරන්න බැහැ. ඒ නිසා රස්සාවක් කරන්න කම්මැලි වුණාම ඇතිවෙන කොමියුනිස්ට් මානසිකත්වේ අමතක කරලා ඒ පොත කියෙව්වොත්, ඇත්තටම තාමත් හෙළුවෙන් ජීවත් වෙන පූජකයෝ ඉන්න රටකට හොඳ තාක්ෂණයක් සහිත කාර් කොම්පැනියක් හඳුන්වලා දීම සහ ඒකත් එක්ක වෙළඳපොළේ වැඩි කොටසක් අත්පත් කරගැනීම කියන එක මොන ගේමක්ද කියලා හිතාගන්න පුළුවන්. මොකද ඒ කාලේ චීනෙන් වාහන කිට් අඩුවට ගෙනල්ලා එකලස් කරලා 'ගන්න අපේ දේ' කියලා බයිලා ගහන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ජපන්නු සාමාන්‍යයෙන් හදන්නේ හොඳ වාහන. උන් ප්‍රමිතිය ගැන සැලකිලිමත්. ඉතින් ජපානෙට ජැක් එකක් ගහනවා නම් සීරියස් විදිහට ගහන්න ඕනා.


ආර්. සී. භාර්ගවා

අනික තමයි ජපානෙන් බඩු එනවා කියලා ෂපාන් එකේ ඉඳලා, ආණ්ඩුවට ජැක් එකකුත් ගහලා ගතමනාව සරි කරගෙන ගෙදර යන්න විතරක් ඒ මිනිස්සු කල්පනා නොකිරීම. දේශීය අමතර කොටස් සැපයුමක් හදාගන්න ගන්න වෙච්චි වෙහෙස මහන්සිය මේ පොතේ තියනවා. ඊට අමතරව ප්‍රාන්ත ආණ්ඩු එක්ක ගනුදෙනු කරද්දී මතුවෙච්ච ගැටලුත් අනන්තයි. අපේ කලාපේ දේශපාලකයෝ විදිහට සාමාන්‍යයෙන් ඉස්සරහට එන්නේ නූගත්, නැහැදිච්චි, අසංස්කෘතික, අවලං හැත්තක් නිසා උන් කල්පනා කරන්නේ කොම්පැනියක් කියන්නේ තමන්ට කඩේ ගිය උන්ට රස්සාවල් දෙන්න සහ කප්පං ගන්න තියන තැනක් කියලා. මේවා ක්‍රමෝපායිකව මගඇරගෙන කොම්පැනියක් සාර්ථක කරගන්න එක ලේසි නෑ (මරුටි කොම්පැනිය රජයේ බහුතර අයිතිය සහිත සමාගමක් විදිහට ක්‍රියාත්මක වුණු එක ඇත්ත. ඒකේ අයිතිය ඉන්දියානු රජය සහ සුසුකි සමාගම අතර බෙදිලා ගිහින් තිබුණේ 76% සහ 24% අනුපාතවලට. නමුත් ඒක ලාභ ඉපයීම අරමුණු කරගත්තු සමාගමක් මිසක් සුදු අලියෙක් නෙමෙයි. ඒ වගේම 2007 දී ඉන්දියානු රජය තමන්ට අයිති කොටස් සේරම ටික ඉන්දියානු මූල්‍ය සමාගම්වලට විකුණලා දැම්මා. වැඩි විස්තර දැනගන්න කැමති නම් පොත හොයාගෙන කියවන්න).



අනික තමයි මොරිස් ඔක්ස්ෆර්ඩ් Series III එක දශක පහමාරක් ලයිසන් පිට කොපි කරකර ඇම්බැසඩර් කාර් එක හදපු හින්දුස්ථාන් මෝටර්ස් සහ ෆියට් 1100D එක එක බේස් කරගෙන දශක හතරහමාරක් තිස්සේ ප්‍රිමියර් පද්මිනී හදපු ප්‍රිමියර් ඔටෝමෝබයිල්ස් වගේ සමාගම් ඒ වෙනකොටත් වෙළඳපොළේ බොහොම ගතානුගතික ආකාරයකට කූඩැල්ලෝ වගේ එල්ලිලා සිටීම. අදටත් ලංකාවේ එවුන් පවා ඉන්දියාවේ දේශපාලකයෝ ඇම්බැසඩර් පාවිච්චි කරනවා කියලා ලංකාවේ දේශපාලකයන්ට මයික්‍රෝ ගන්න කියලා කියනවා. ඉතිං ලංකාව වගේම පසුගාමී රටක් වෙන ඉන්දියාවේ මේ වගේ දේශාභිමාන බයිලා පරද්දගෙන ලාභ ලබන සමාගමක් පිහිටුවීම මාර්ග ඵල ලබනවා වගේ ගේමක් තමයි.

නමුත් මරුටිය ගේම දිනුවා...

1983 දෙසැම්බර් 14 වෙනිදා තමයි ඒ වෙනකොට ඉන්දියාවේ අගමැති වෙලා හිටපු ඉන්දිරා ගාන්ධි පළවෙනි මරුටියේ යතුර හර්පාල් සිං කියන කෙනාට භාරදුන්නේ. ඒ මරුටියේ මිල වුණේ ඉන්දියානු රු. 48,000 යි. එන්ජිම 796cc. සිලිඩර් 3 යි. කාබරේටර්. බලය 5,000 rpm වලදී 39.5 bhp. හර්පාල් සිං තමන්ගේ ජීවිත කාලය පුරාම මේ කාර් එක කිසිම වෙනස්කමක් නොකර පාවිච්චි කළා කියලා 2015 දී හින්දුස්ථාන් ටයිම්ස් පත්තරේ වාර්තා කරලා තිබුණා.

හර්පාල් සිං ට පළවෙනි මරුටියේ යතුර ලැබුණු අවස්ථාව

ඉතාමත් පස්සේ කාලෙක හර්පාල් සිං පවුලේ අයත් එක්ක. මේ මරුටිය දිරා යමින් තියනවා කියලා 2015 දී ආරංචි වුණා. ඊට පස්සේ වෙච්ච දේ මම දන්නේ නෑ.
2013 අන්තිම වගේ නිල වශයෙන් මරුටි නිෂ්පාදනය අවසන් කරන්න සමාගම තීරණය කරද්දී මරුටි මිලියන 2.8 ක් විතර විකිණිලා තිබුණා. ඒ කියන්නේ මරුටිය ඇත්තටම යාන්තං ඔලුව උස්සපු මිනිස්සු මිලියන ගාණකට පොයින්ට් ඒ එකේ ඉඳන් පොයින්ට් බී එකට යන්න විසඳුමක් හොයලා දුන්නා කියන එකයි. මරුටිය කියන්නේ පට්ට ගගහා පාවිච්චි කරන්න පුළුවන් කාර් එකක් බව කවුරුත් දන්නවා. ඒ නිසා මිනිස්සුන්ට මේ කාර් එක නඩත්තු කරන්න ලිංගික අවයව උගස් කරන්න වුණේ නැහැ. කාර් එක ගරාජ් එකේ තියලා පයින් යන්න වුණේ නැහැ. ස්ට්‍රයික් කරන එවුන්ගේ ගෙම්බර් බලන්න වුණේ නැහැ.

ඒ නිසා මරුටිය ගැන මගේ හිතේ දැන් අපුලක් නැහැ...

හැබැයි ඉතිං... මං මරුටියක් ගන්න එකකුත් නැහැ...

ඒ වුණාට මම තාමත් අලුත් ඇල්ටෝ එකට වඩා පරණ මරුටියට ආසයි. එක පාරක් මට මරුටියක වේගේ ටෙස්ට් කරන්න ඕන වුණා. සාමාන්‍යයෙන් මම එළවන්නේ ක්ලැසික් කාර් එකක් නිසා, BMW සහ බෙන්ස් හැර අනික් බොහොමයක් වාහන වල වේගේ ටෙස්ට් කරන්න මම කරන්නේ මොරටුව සහ පානදුර අතර අලුත් පාරේදී ෂේප් එකේ අදාළ වාහනේ ඕවර්ටේක් කරන එකයි. මගේ බීට්ල් එක 1600 නිසා මට සෙල්ලමක් දෙකක් දාන්න පවර් එක තියනවා. ක්ලැසික් එකක් තමන්ගේ ලඩිය ඕවර්ටේක් කරනවා දැක්කම සාමාන්‍යයෙන් සල්ලි තිබුණට සංස්කෘතිය නැති බොහෝ දෙනෙකුට හිත ඇතුළේ චකබක ගාලා හීනමානෙ බොයිල් වෙන්න ගන්නවා. ඉතිං එතකොට මට බලාගන්න පුළුවන් මුන්ට මගේ බීට්ල් එක ඉස්සර කරන්න කොච්චර වෙලා යනවද කියලා (මේකේ පට්ටම ෆන් එක තියෙන්නේ ප්‍රියස් එකක් හෝ ඒ වගේ  වෙන හයිබ්‍රිඩ් එකක් ඉස්සර කළාම. හයිබ්‍රිඩ් කාරයෝ ඉතිං තෙල් ඉතුරු කරන්න ජීවත් වෙන කට්ටියක් නේ. ඒ නිසා උන්ට මාව ඕවර්ටේක් කරන්නද, නැත්තං අර තෙල් කඳුල බේරගන්න ඕන නිසා හීන මානේ කොහෙ හරි දෙබොක්කාවක ගහගන්නවද කියලා හිතාගන්න බැරුව යනවා. මේක හැමෝටම අදාළ නැහැ. අවශ්‍ය නම් විතරක් තොප්පිය දාලා කන්නාඩියක් ඉස්සරහට ගිහින් පද්දලා බලන්න). 

ඉතිං මේ පාර මම කරපු වැඩේ කොරලවැල්ල හරියේදී මරුටියක් ඉස්සර කළා. කොහොමහරි එගොඩඋයන හන්දියේදී පොර මාව ඕවර්ටේක් කරගෙන, මිචෙල් ජොන්සන් ජේම්ස් ඇන්ඩර්සන් දිහා බලනවා වගේ බැල්මක් දාලා යන්න ගියා. මට ආයේ පොරව ඉස්සර කරන්න පුළුවන් වුණේ ප්‍රේමචන්ද්‍ර ෂෙඩ් එක හරියෙදී. ඒ කියන්නේ වාහනේ පවර් එක ලංකාවට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියන එකයි. 


බබාගේ ඇන්ජිම

බොහොම සැහැල්ලු අර්ථයකින් ගත්තොත්, මරුටිය කියන්නේ ඉන්දියාවේ බීට්ල් එක. තව අවුරුදු තිහ හතළිහකින් ඉන්දියාව සහ චීනය ලෝකයේ වෙළඳපොළ කාලා වැමෑරුවට පස්සේ, ඒ යුගේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ පරණ අටුකොරටු පෙරළ පෙරළා මරුටි හොයයි. එදාට අපේ පරපුරේ එවුන් ඒ කාලේ මරුටි වලින් වැඩ දාපු හැටි ගැන මෙලෝ ලැජ්ජාවක් නැතුව පොරටෝක් දෙයි. 

හැබැයි මට එකක් බුදු ෂුවර්. ඔය අයි ඩ්‍රයිව්, අයි සයිට්, අයි කිල් මයිසෙල්ෆ් කියකියා, ඉංග්‍රීසි හෝඩියේ අකුරු එක එක විදිහට පූට්ටු කරපු වැඩකෑලි එක්ක එන එක පපඩමක් වත් එදාට හොයාගන්න පුළුවන් වෙන එකක් නැහැ... 

ඒ නිසා මට අදටත් මරුටියක් දකිද්දී ඉඳහිට Chamillionaire ගේ කටහඬ ගාලු පාරේ සාම්බාරු වුණු ගෝසාවල් අස්සෙන් කීං හඬින් ඇහෙනවා... 

දේ සී මී රෝලින්, දේ හේටින්... 


www.facebook.com/CarPissuwa

Saturday, July 16, 2016

හඳ මාමා Mitsubishi Lancer Evo X MR එකේ යතේ, අපෙ මාමා Subaru Impreza WRX STi එකේ යතේ



1992 ඉඳන්ම හඳ මාමයි අපෙ මාමයි මරාගත්තා. 2016 දී හඳ මාමාගේ කාර් එක ඉතිහාස පොතේ පිටුවක් අස්සේ හිරවුණා. වලිය නැතුව දැන් අපට පාළුයි පාළුයි වගේ!

Mitusbishi Evo එක කියන්නේ මම කාලෙක ඉඳලා ගන්න ආසාවෙන් හිටපු කාර් එකක්. ඕක ෆැන්ටසියක් විදිහට තියනකල් මාරම ජොලි. එතකොට ඉතිං ලාවට හරි ආත්ම ගරුත්වයක් ඇතුව ගහලා තිබුණු ස්පොයිලර් එකක් දැක්ක ගමන් ලාන්සර්ද? ඊවෝද? ඔරිජිනල්ද? කන්වර්ෂන්ද? වගේ දාහක් ප්‍රශ්න බඩේ තියාගෙන තමයි ඒ දිහා බලන්නේ. 

කොහොම වුණත් කාර් එකක් ගන්න පුළුවන් කාලේ ඇවිත් මිලගණන් හොයන්න ගත්තම තමයි මට කාර් විශ්වයේ හේතුඵල ධර්මය පසක් වෙන්න ගත්තේ. ඉඳල හිටලා හරි ඉක්මන් එකේ හරි රියසෙවණේ හරි ලංකාදීපේ හරි ඊවෝ එකක් මතුවුණාම මම කෙළ හලාගෙන බලනවා. ඊට පස්සේ ගාන දැක්කම හපුතලේ කන්ද දැකලා බඩදනවා! 

ඊවෝ එකට ආසා වුණාම ඔය කාසියේ අනික් පැත්ත තමයි සුබාරු ඉම්ප්‍රෙසා WRX STI එකත් එක්ක අහේතුක මලක් පැනීම. ඒ කාලේ මම ඊවෝ එක ඉම්ප්‍රෙසා එක පරද්දන වීඩියෝස් හොයහොයා බැලුවා. ටොප් ගියර් එකේ විකාර ටෙස්ට් එකකින් හරි ෆිෆ්ත් ගියර් එකේ සෙන්සිබල් ටෙස්ට් එකකින් හරි ඊවෝ එක දිනනවා දැක්කම මට නිකං ගෙදර බල්ලා පිට බල්ලෙකුට නෙළුවා වගේ හෙන හැපී. වතාවක් ඊවෝ X එකට වඩා නිසාන් GTR එක හොඳයි කිව්වා කියලා මට ෆිෆ්ත් ගියර් එකේ ටිෆ් නීඩෙල්ව ඩෙවල් දාන්න තරම් කේන්තියක් ආවා (මම කාර් ටීවී ලෝකේ වැඩියෙන්ම කැමති ටිෆ් ට සහ විකී ට. ඒකයි මෙතන උත්ප්‍රාසේ).



ඔය අතරේ තමයි මගේ මිත්‍රයෙක් වුණු පයිලට් අප්පුවා සුබාරු ඉම්ප්‍රෙසා එකක් ගත්තේ. මට මේක බලන්න යන්න ඕනෑකම තිබුණත් ඌ උගේ ලොවේ මම මගේ ලොවේ නිසා ඕක බලන්න වෙලාවක් ආවේ නෑ. දවසක් ඌ මගේ බීට්ල් එක බලන්න මම වැඩකරපු තැනට ආවා. ඒ කාලේ මම රත්මලානේ සෝන් එක ඇතුලේ තැනක පාට් ටයිම් වැඩක් කළා. සෝන් එක සාමාන්‍යයෙන් දවල්ට නිහඬයි. එතකොට එල්කාඩෝ එකේ ෆෝක්ලිෆ්ට් ටික එහෙම ගොඩක් දුරට දවල්ට කන්න ඇතුළට ගිහිං. ලොරි කාරයෝ ලෝඩ් පටෝගෙන එදාවේල ටුවර්ස් වලට මාරු වෙලා. බවුසර් කාරයෝ පාර අයිනේ බවුසර් නවත්තලා ඒවා ඇතුළේම නිදි. වැඩ කරන එවුන් කීයටද ගෙදර යන්නේ කියලා හිතහිත නිහඬව නිසලව කොම්පියුටර් දිහා බලන් ඉන්නවා. ඉතිං මේ යකාගේ එන්ජිමේ සද්දේ නිදහසේ අහන්න මම බලාගෙන හිටියා. 

මූ එක්තරා ෆැමිලි කාර් කට්ටක නැගලා ආදරෙන් පැරදිච්චි කබරගොයෙක් වගේ හබරල ගාලක් අස්සෙන් මතුවෙච්චි! (බ්‍රෑන්ඩ් එක මතකයි. ඒත් කියන්නේ නෑ).

මට සීයයි දශම හතට මලපැන්නා. ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. අන්තිමට අපි දෙන්නා පොඩි චැට් එකකට පස්සේ සෝන් එකෙන් එළියට වාහන දෙක එළවන් ආවා. මම 3 ශ්‍රී බීට්ල් එකක. ඌ බිස්කට් තොග වශයෙන් විකුණන්න පාවිච්චි කරන කාඩ්බෝඩ් පෙට්ටියක. 

උගේ වාහනේ කොච්චර hideous ද කියනවා නම් ඒකට අප්පිරියාවේ හැංගෙන්න ගිය ඩිමෝ බට්ටෙක් අපි ඉස්සරහම පාරේ කෝල් එකකට ආන්සර් කරමින් හිටපු එකෙකුගේ බඩේ ලාවට ඇනලා නැවතුණා. බට්ටා එලෝපු ඩ්‍රයිවර් බට්ටා අර අහිංසකයව බේත් ගන්න එක්ක යනකල් ඉඳලා අපි ගෙවල් බලා ගියා.

පස්සේ කාලෙක මිනිහා කාර් එක විකුණලා දාලා රටිනුත් චුත වුණා. ඔය කාලෙම වගේ තමයි මිට්සුබිෂි එක දම් පාටින් ලා සඳ බැසයනවා කියලා කපුගේ සහ මාලිනී මතක් කරගෙන ඊවෝ එකට සමුදෙන්න තීරණය කළේ. අන්න එතකොට මට අර නිවුටන්ගේ ඔළුවට කාක් බෙට්ටක් වැටුණා වගේ නියම තුනක් අවබෝධ වුණා. 

1. ඔය යක්කු ඉන්න තත්ත්වේ හැටියට ඔය තීරණේ වෙනස් වෙන්නේ නැහැ. 

2. උඹට මහජන සම්පතක් අදුණත් ඕකක් අලුතින් ගන්න වෙන්නේ නැහැ. 

3. කීප් කාම් ඇන්ඩ් මාරු වෙයන් සුබාරු හීනෙකට! 

ඒ අනුව (පාපොච්චාරණයක් විදිහට කියනවා නම්) මගේ සුබාරු හීනය පටන් ගත්තේ අර ගෙදරට නාකිවෙන බයට අහුවෙච්ච එකාව/එකීව කරේ එල්ලගන්නවා වගේ සීන් එකකින්. නමුත් ටිකක් කල් යනකොට හිත ඇතුළේ සුබාරු ප්‍රේමයක් නිල් පාටට, රත්තරන් පාට 17 වීල් සෙට් එකක් එක්ක දළු දාන්න පටන් ගත්තා. මේකට හේතුව කියන්න එක දෙයයි කියන්න ඕනා. 

බොක්සර් එන්ජිම... 

බොක්සර් එන්ජිම කියන්නේ horizontally-opposed පිස්ටන් තියන එන්ජිමක්. මේකේ විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් වාසි කීපයක් තියනවා. 

1. Center of Gravity එක low 
2. වයිබ්‍රේෂන් අඩුයි 
3. සේෆ්ටි වැඩියි 
4. සද්දේ sexy 











ගතානුගතික එන්ජින්වලින් වෙනස් වෙන එන්ජින් ගැන ප්‍රේමයක් මගේ හිතේ ඉස්සර ඉඳලම තිබුණා. ෆොක්ස්වැගන් වල තියෙන්නෙත් flat 4  එන්ජිමක් වීම ඒකට එක හේතුවක්. කොහොම වෙතත් ක්ලැසික් කාර්වල එන එන්ජින් වලින් BMC එකේ එන්ජින්වල සද්දෙට මම ආසයි. මම තාමත් කම්මැලි හිතුණම මගේ මොරිස් මයිනරේ ස්ටාට් කරලා rev කරලා සද්දේ අහන් ඉන්නවා (මගේ මයිනරේ 950 එන්ජිමට වඩා 1275 එන්ජිමේ සද්දේ රහයි කියලා මම නොදන්නවා නෙමෙයි. ඒත් මිනියකුත් කැන්දන් එන්න අමාරු තරමට තාම මගේ සාක්කුව හෙන පුංචියි). 

ඔහොම ටික ටික යනකොට සුබාරු බ්‍රෑන්ඩ් එක මට අර 'කොහෙද සත්තලනේ මෙත්තල කල් හිතියේ?' වගේ තත්ත්වෙකට පත්වුණා. පසුබිම් කතාව නොදන්නා හෝ නොතකා හැරපු මගේ යාලුවෝ හිතුවේ ගරාජ් එකකදී මගේ ඔළුවට කවුරු හරි තඩි යතුරකින් ගහලා කියලයි. මේකට හේතුව තමයි ඉතිං අර රැලි කාර් විශ්වය ඇතුලේ මිට්සුබිෂි සහ සුබාරු බ්‍රෑන්ඩ් දෙකේ rivalry එක. මිට්සුබිෂි ඊවෝ එකයි සුබාරු ඉම්ප්‍රෙසා STI එකයි දෙකම බිහිවෙන්නේ World Rally Championship එක ඉලක්ක කරගෙන. සුබාරු ඉම්ප්‍රෙසා එකේ එන WRX අභිධානයේ තේරුමත් World Rally eXperimental කියන එකයි. 1995 දී තමයි සුබාරු නාමය පළවෙනි වතාවට World Rally Championship ජයග්‍රාහකයන්ගේ නම් ලයිස්තුවේ සටහන් වුණේ. 




නමුත් එතනින් පස්සේ පිටපිට අවුරුදු 4 ක් චැම්පියන් වුණේ ඊවෝ එක. Tommi Mäkinen කියන සුපිරි ඩ්‍රයිවර් පිළිවෙළින් Evo III, IV, V සහ VI කාර් එක්ක මේ විදිහට ජයග්‍රාහකයා වුණා. ඊට පස්සේ ආයෙත් 2001 සහ 2003 අවුරුදුවලදී මේක උස්සන්න සුබාරු එකට පුළුවන් වුණා. මෙහෙම කියාගෙන යනකොට කොක්ක තිබෙන්නේ කොයි කොයි දේසේ කියලා මීටර් නේ?



මේක ධනවාදී ලෝකයක්. Brands එක එක rivalry හදාගන්නවා. ඊට පස්සේ ඒ rivalry අනුව අපි දෙකට බෙදෙනවා. දැන් මාක්ස්වාදී සහෝදරයන්ගේ Rev counter එක උපරිමේට නගීවී. නමුත් ගැටුමක් නැතුව ප්‍රගතියක් ලැබෙන්නේ නෑ සහෝදරයා. 

බ්‍රෑන්ඩ්ස් අතර මේ වගේ අපූරු හතුරුකම් තව ඕන තරම් තියනවා. ඇමරිකාවේ ෂෙව්රලේ සහ ෆෝර්ඩ් අතර දශක ගාණක වලියක් යනවා. ඕස්ට්‍රේලියාවේ ෆෝර්ඩ් සහ හෝල්ඩන් අතර කෙහෙවලු පටලවා ගැනිල්ල මීට වඩා සෑහෙන්න දරුණුයි. නමුත් අන්තිමේදී මේ සේරම අපිට ජීවිතේ විඳින්න එක එක අපූරු පොටවල් පාදලා දෙනවා. 








හඳමාමා ඊවෝ එකේ යනකොට අපෙ මාමා ඉම්ප්‍රෙසා එකේ ගියා. දැන් ඊවෝ නැති නිසා සේරම හඳ මාමලා මඩේ හිටෝපු ඉනි වගේ වැනි වැනී ඉන්නවා. 

ඩෝන්ට් වොරි හඳ මාමේ, අලුත් ලවු එකේ රහ දැනුණට පස්සේ ඔය 'අවසානයට පෙර ඈ ගියා' සින්දුව ඉබේම නවතියි... 


www.facebook.com/CarPissuwa


පසු සටහන්: 

1. Subaru WRX STI එකේ ආපු Impreza කෑල්ල 2011 මොඩ්ල් ඉයර් එකේදී හැලුණා. දැන් තියෙන්නේ ඉතුරු කෑලි සහ අලුතෙන් එල්ලපු කෑලි විතරයි.

2. දැන් මට Subaru BRZ එක ගැන 'මගේ නොවන මගේම මෙව්වා එකක්' තියනවා. මේක ටොයෝටා එකත් එක්ක එකට develop කරපු එකක්. ඒ නිසා මේක සමහර රටවල Toyota 86 කියලා එනවා. 

3.  Subaru WRX එක ගැන ලංකාවේ ඇහින් ලියපු ලිපියක් Torque & Throttle සඟරාවේ 2016 ජූනි මුද්‍රිත කලාපයේ 11 වෙනි පිටුවේ ඉඳන් ඉස්සරහට තියනවා. හොයාගෙන කියවන්න. ඕක ඔබ්සර්වර් එකත් එක්ක නොමිලේ දීපු එක නිසා සෑහෙන පිරිසක් ගාව ඇති.




 


Friday, July 8, 2016

ෆෝමියුලා සාගරේ රජවෙන්න යන මොරටුව කැම්පස් එකේ මෝරු


අතීතය ගැන පුස්ටෝක් දෙන රටක අනාගතය මගේ ගමෙන්ම උපත ලැබීම කියාගන්න බැරි සතුටක්! 

මම ලංකාවේ ව්ශ්ව විද්‍යාල පද්ධතිය ගැන සත පහකට විශ්වාස කරන්නේ නැති කෙනෙක්. මේක ගොඩක් අදාළ වෙන්නේ කලා පීඨවලට. කලා පීඨ ගැන මම අත්දැකීමෙන් දන්න නිසා මම හැමතිස්සෙම කියන්නේ ඕවා වහලා දැම්මොත් පාඩු වෙන්නේ ඒ රූට්වල දුවන බස්කාරයින්ට විතරයි කියලා. කොහොම වෙතත් ලංකාවේ අනික් පීඨ බහුතරයකුත් මීට වඩා වෙනස් නැහැ. ඔන්න පේරාදෙණියේ සයන්ස් ෆැකල්ටි එකේ දෙගොල්ලක් ගහගෙන 10 දෙනෙක් ඉස්පිරිතාලේ කියල ඩේලි මිරර් එක ඊයේ හවස තුනයි පනස් නාමයට මට මැසේජ් එකක් එවුවා. කලා පීඨවලට නක්කලේ දදා උඹලා කරන වැඩ ඊට හපන්. 

හැබැයි මොරටුව විශ්ව විද්‍යාලයේ ගැන පොඩි විශ්වාසයක් ඉස්සර ඉඳල මට තිබුණා. පොඩි කාලේ මම ඕකට යන්න පෙරුම් පිරුවා. අපේ තාත්තාට හැමදාම ඕන කළේ මාව ඉන්ජින්රුවෙක් කරන්න. කලා උන්මාදේ ගැහුවේ ඕලෙවල් කාලේ. ඒ කාලේ කාර් පිස්සුව තිබ්බනං කියලා මට දැන් හිතෙනවා!

මොරටුව කැම්පස් එක ගැන ඇත්තටම ආසා හිතෙන දෙයක් හැටියට මම ඉස්සරලාම දැක්කේ නිල්මිනි ප්‍රොජෙක්ට් එක. මේක ගැන ලිපියක් මෝටර් මැගසින් එකේ 2015 මැයි කලාපයේ පළවෙලා තිබුණා. ඒකෙන් ඉන්ටර්විව් කරලා තිබුණේ විමුක්ති රන්දෙණි සහ සසිරංග ද සිල්වා කියලා දෙන්නෙක්. විමුක්ති හෙන සීරියස් මූණක් දාගෙන ඔස්ටින් ලොරියක් පදිනවා වගේ මිනි එක පදින රූපෙකුයි, සසිරංග කවුබෝයි ඇක්ෂන් එකක් දාගෙන විමුක්තිත් එක්ක කාර් එකට හේත්තුව දාගෙන ඉන්න පින්තූරෙකුයි මට මතකයි. මෙයාලා මේ ප්‍රොජෙක්ට් එකේදී කරලා තිබුණේ දීග යන්න කෙනෙක් නැතුව කැම්පස් එක ඇතුළට නාකිවෙවී හිටපු මිනි එකක් කරේ එල්ලගෙන ඒක ඉලෙක්ට්‍රික් කරන එක (මේක කියෝපු දවසේ ඉඳන් මට 'නිල්මිණි සැංගී පාවී' සිංදුව අහන හැම වෙලාවකම මැවිලා පෙන්නේ මිනි කාර් එකක් වතුරේ එහෙමෙහෙ යන සීන් එකක්. ඊට කලින් මගේ ඔලුවේ හිටියේ නිල්මිණි තෙන්නකෝන්!). 

විමුක්ති නිල්මිනිගේ කරේ එල්ලුණු අවස්ථාවක්!

නිල්මිනි නංගි සහ අයියලා දෙන්නා

(ඡායාරූපවල හිමිකම සහ සම්පූර්ණ ගෞරවය මෝටර් මැගසින් එක සතුයි. මම මේ කරන්නේ අතින් කාලා හරක් බැලිල්ලක් නිසා මැගසින් එක මේ ගැන උරණ නොවේවි කියලා හිතනවා).

මේ ගැන මට තිබුණු උනන්දුව නිසාම සසිරංගගේ නම ආයේ බුකියේ දකිද්දී මම ටිකක් උනන්දු වුණා. 

සාමාන්‍යයෙන් ලංකාවේ කාර් එකක් හදනවා කියලා කියන්නේ මොකෙක් හරි එකෙක් ජපන් චැසියක් අරං, ජපන් එන්ජිමකුත් අරං, දඩෝරියන් ටින්කරින් පාරක් දාලා කොලාජ් එකක් වගේ බොඩියක් ගහන එකට. ඊට පස්සේ බුකිවාසීන් ඒකෙ ෆොටෝස් ආඩම්බරයි කියකියා ශෙයා කරන නිසා මම ඕවා ගැන එච්චරම උනන්දු වෙන්නේ නැහැ. නමුත් මොරටුව කැම්පස් එක සම්බන්ධ නම් එතන ගතයුත්තක් තියේවි කියලා නිල්මිනි මානසිකත්වයෙන් හිතලා මම හොටදාලා බැලුවා.

බැලින්නම් සසිරංග සහ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් රියල් මෝරෙක් බාලා! 

මේ අලුත්ම වැඩේ තමයි Team SHARK එකේ Formula Student කාර් එක. මෙයාලා තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට Formula Student Championship එකේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න යන්නේ. Formula Student කියන්නේ එංගලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන තරගාවලියක්. මේකට ලෝකේ වටෙන්ම ශිෂ්‍ය කණ්ඩායම් සහභාගී වෙනවා. මෙතනදී වෙන්නේ මේ කණ්ඩායම් ෆෝමියුලා ස්ටයිල් එකේ, හැබැයි ඊට වඩා කුඩා සහ බලය අතින් අඩු ප්‍රමාණයේ කාර් හදලා ඉදිරිපත් කරන එකයි. මේ පාරත් මේක පැවැත්වෙන්නේ Silverstone Circuit එකේ. 

ලෝගෝ එක 






සර්කිට් එක

මේක මේ කොහෙන්හරි එන්ජිමක් උස්සලා බේ එකට බස්සලා ටින්කරින් පාරක් දීලා ස්ටිකර් පාරක් ඇදලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට ජාත්‍යන්තර තලයේ දැනුමක් සහ තාක්ෂණයක් (අඩු තරමින් ඒ තාක්ෂණය ගොඩදාගන්න හැටි ගැන අවබෝධයක්) තියෙන්න ඕනේ. මේකට සහභාගී වෙලා දක්ෂතා පෙන්නපු ගොඩක් අය පසුකාලීනව ලෝකයේ ෆෝමියුලා වන් තරග ක්ෂේත්‍රයේ කණ්ඩායම් සහ ඒ සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමේ සමාගම්වලට සම්බන්ධ වෙලා තියනවා. තමන්ගේ රටේ මනුස්සයෙක් පිටරටකදී ඇණයක් ගහලා පින්තූරයක් එල්ලුවත් ඒක මාර achievement එකක් වෙන ලංකාව වගේ රටකට මේක ජෙනුයින් වීර කතාවක් වෙන්න ඕනේ.

Team SHARK එක මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ උපත ලබපු කණ්ඩායමක්. මෙයාලා මීට කලිනුත් විවිධ තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබලා තියනවා. ජපානයේ Association for the Promotion of Electric Vehicles (APEV) සංවිධානය පවත්වපු “EV Super Micro Mobility Design Contest” තරගය ඒ අතරින් ප්‍රධානයි. මේ කණ්ඩායමේ කථිකාචාර්ය/උපදේශක විදිහට කටයුතු කරන්නේ සසිරංග ද සිල්වා. කණ්ඩායම කවුද සහ උපදේශකවරු කවුද කියන එක ඔයාලට එයාලගේ වෙබ් එකට ගියාම බලන්න පුළුවන් (ඩිලන්ත මාලගමුවත් ඉන්නවා. ඒ නිසා ගිහින් බලන්න. මෙතන ක්ලික් කරන්න). 


ෆොටෝ එක ගත්තේ PR Wire එකෙන්. සියලුම ගෞරවය එයාලට යා යුතුයි.

ෆෝමියුලා ස්ටුඩන්ට් කාර් එක නිල වශයෙන් එළිදැක්වීම ජූලි 7 වෙනිදා ඩිමෝ එකේදී පැවැත්වුණා. වැඩේට පූර්ණ අනුග්‍රහය දෙන්නේ ඩිමෝ එක. ඒකත් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි මම හිතන්නේ. ඒ වගේම කාර් එක ජූලි 8 වෙනිදා කැම්පස් එකේදී එළිදැක්වුවා (මේකට මම යන්න හිතුවත් පිට අය ඇතුළට එන එකට විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයෙන් බාධා එන්න ඉඩ තියන බවක් තමයි මට එයාලා එක්ක කරපු පොඩි චැට් එකකදී තේරුණේ. පෙට්‍රල් පුච්චගෙන චාටර් වෙන්න ඕනේ නැති නිසා මම ඉල්ලං කන්න ගියේ නැහැ. ඒ වෙනුවට මං එයාලගෙම ෆේස්බුක් පේජ් එකෙන් ෆොටෝ දෙකතුනක් ඉස්සුවා. හූ හූ!). 





Formula Student Championship එක මේ පාර පැවැත්වෙන්නේ ජූලි 14 ඉඳන් 17 වෙනකල්. මේකට ලෝකේ රටවල් 34 ක විශ්ව විද්‍යාල 134 කින් 3,000 ක් විතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් සහභාගී වේවි. Class 1 කාණ්ඩය යටතේ සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජින් තියන කාර් 88 ක් සහ ඉලෙක්ට්‍රික් කාර් 32 ක් මේ පාර තරඟ වදිනවා. 

විශ්ව විද්‍යාල කිව්වහම අපි බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ බැරැක්ක, වතුර බවුසර්, කඳුළු ගෑස්, වැඩ ඇරිලා ගෙදර එන්න විදිහක් නැතිවීම සහ නවක වධය ගැන නිව්ස් රිපෝට් වගේ දේවල්. මේ ලජ්ජා සහගත ට්‍රෙන්ඩ් එක ඔළුවෙන් හිටවන්න ඇබින්දකින් හරි දායක වෙන්න Team SHARK එකට අවස්ථාව ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ඒ විතරක් නෙමෙයි. ඉවෙන්ට් එක ඔලුවෙන් හිටවලා ලෝකෙම දිනාගන්න වාසනාව ලැබේවා කියලත් එක හිතින් ප්‍රාර්ථනා කරනවා!

ජයවේවා! උඹලා ගැන ආඩම්බරයි! 

 www.facebook.com/CarPissuwa

(මේ ලිපියට Team SHARK එකේ සම්බන්ධයක් නැහැ. මේක මගේ හිතුමනාපෙට ලියපු එකක්. ඒ නිසා ලිපියේ තියන මොකක් හරි කරුණක් ගැන තරහා වෙනවා නම් මාත් එක්ක තරහා වෙන්න. එයාලා මෙහෙම බ්ලොග් එකක් තියනවා කියලා දන්නෙත් අද උදේ මම ඉවෙන්ට් එක ඕපන්ද කියලා අහපු හින්දා).  


Thursday, July 7, 2016

වයිපරෙත් ඩිවෝස් වුණා බ්‍රෝ!



අසූ ගණන්වල සහ අනූ ගණන්වල මුල අවධියේ දරුවන්ට වයිපර් එකක් කියන්නේ වාහනවල වීදුරුවේ වතුර ඉවත් කරන උපාංගයකට වඩා අපරාධ කාරයන්ට රම්පෙට පොරි හැලෙන්න නෙළන කාර් එකක්. ඒ 'වයිපර්' ටීවී සීරීස් එක නිසා.

වයිපර් ටීවී සීරීස් එක ලංකාවේ විකාශය වුණු කාලය මොකක්ද කියන එක මට හරියට මතක නැහැ. මගේ මතකයේ හැටියට ඒක විකාශය වුණේ ITN එකේ (මම වැරදි නම් මාව නිවැරදි කරන්න). නයිට් රයිඩර් එකට වඩා සෑහෙන නවීන ගතියක් ඒකෙ දැනුණා මට මතකයි. 

ඒ දවස්වල මම එච්චර (නෙමෙයි මම හිතන්නේ කොහොමවත්ම) බටහිර රූපවාහිනී මාලා නාටක බලලා තිබුණේ නැහැ. එතකොට ඉන්ටර්නෙට් කියන්නේ අපි නොඅහපු වචනයක්. පොදුවේ කාටත් ලබාගන්න පුළුවන් සේවාවක් විදිහට චන්ද්‍රිකා රූපවාහිනී සේවාවක් තිබ්බෙත් නැහැ. ඉතිං රහක් ඇති දේකට කියල අපට බලන්න ලැබුණේ රූපවාහිනියේ හෝ ITN එකේ හඬකැවීම් අංශවලින් පෙරිලා ආපු දෙයක් දෙකක් විතරයි (ඒ දවස්වල එදිනෙදා ව්‍යවහාරය බය නැතුව හඬකැවීම්වල භාවිතා කරන්න පුළුවන් වුණු නිසා අපි යාළුවොත් එක්ක කතාකරන විදිහටම කාටුන් සහ නාට්‍ය චරිතත් අනිත් අයත් එක්ක කතා කළා. දැන් වගේ 'ළමයින්ට සුදුසු භාෂා ව්‍යවහාරය' වගේ, ළමයි ගැන මෙලෝ හසරක් නොදන්නා හිපාටුවෝ දාපු නීතිරීති ඒ කාලේ තියෙන්න නැතුව ඇති. නැත්නම් ටයි මාමා ඒවා ගණන් ගන්න නැතුව ඇති. මම දන්නා තරමින් ටයි මාමා වැඩකරන අවකාශය ඇතුළේ ඉතාමත් සැරපරුෂ කෙනෙක්. නමුත් මේක තහවුරු කරන්න විදිහක් මට නැහැ).

ඩොජ් වයිපර් එක අපේ ඔළුවට කා වැදුණේ 1994 දී ආරම්භ වුණු වයිපර් ටීවී සීරීස් එක නිසා. සමහර විට ඉහළ සමාජ පන්තිවල අය මේ ගැන හොඳට දැනගෙන ඉන්න ඇති. නමුත් මැද හා පහළ පන්තිවල අපට දැනුම ආවේ එක එක ෆිල්ටර් සිස්ටම්වලින් පෙරිලා. ඒ නිසා වයිපර් එක අපට සෑහෙන කාලයක් යනකල් කල්පිත සත්ත්වයෙක් වගේ දෙයක් වුණා.මේ කතා මාලාවේ තිබුණු වයිපර් එකේ විශේෂත්වය තමයි ඒක කාර් එක හදන ක්‍රයිස්ලර් සමාගමෙන්ම මොඩිෆයි කරපු එකක් වීම. සාමාන්‍යයෙන් ටීවී සීරීස් එකක් වගේ දේකට අවශ්‍ය වන කාර් මොඩිෆයි කරන්නේ ඒවායේ නිෂ්පාදන කණ්ඩායමට අයිති ඩිසයිනර්ලා සහ මිකැනික්ලා වගේ අය. නමුත් මේක සමාගමෙන්ම හදලා දුන්නා කියලයි කියන්නේ. 

කතා මාලාවේ තිබිච්ච වයිපරේ
සාමාන්‍ය ඩොජ් වයිපර් එක ඉස්සරලාම දැක්ක දවසේ මට හිතුණේ යකෝ මේක ඩිසයින් කරපු එවුන්ට හරිහමන් ලයිට් දෙකක් හොයාගන්න බැරිවුණාද කියලා. මගේ ඇහැට අනුව 1992 ඩොජ් වයිපර් එකේ ලයිට් දෙක පුදුම විදිහට කැතයි. ඒක හරියට පස්සේ ආපු සුබාරු WRX කාර් වල ආපු රවුම් ලයිට් දෙක තරමට කැතයි (මේක මගේ ඇහැට පේන විදිහ. කවුරුවත් මම හිතන විදහට හිතන්න ඕනේ කියලා නියමයක් නැහැ). 2014 අප්‍රේල් මාසෙදි රෝඩ් ඇන්ඩ් ට්‍රැක් කියන වෙබ් සයිට් එකට ඩොජ් වයිපර් එක ගැන ලිපියක් ලියපු රොන් සෙෂන්ස් කියනවා 1992 ඩොජ් වයිපරේට තියෙන්නේ ඈත දුරක ඉඳන් ස්ටික්ස් ගංගාවේ පීනගෙන පීනගෙන පීනගෙන පීනගෙන පීනගෙන ආපු සතෙක් වගේ පෙනුමක් කියලා (අවධාරණය මගේ). 

නමුත් ඩොජ් වයිපර් එක කියන්නේ කාර් ගැන ඇමරිකානු හර්ද සාක්ෂිය යළි ඉපදීමක්. පවර්ෆුල්, පත සයිස්, ඝෝසාව දාන, දකින අයව බයකරන්න පුළුවන්, හැබැයි සාපේක්ෂව අඩුවට ගන්න පුළුවන් කාර් තමයි ඇමරිකන් මසල් කාර්.
 
ඇමරිකන් මසල් සහ සද්දේ

ඩොජ් වයිපර් එක මෙලොවට බිහිවුණේ ඇමරිකන් මසල් කාර් එකේ පුනරුප්පත්තියක් විදිහට (ලංකාවේ වුණානං අර කර්මඵල ගැන ලංකාදීපෙට ලියන පිං+ව්+අන්තයෝ ටික වයිපර් එකත් වටකරගන්නවා). කොහොම වුණත් ඩොජ් වයිපර් එක මසල් කාර් එකක්ද නැත්නම් සුපර් කාර් එකක්ද කියන එක ගැන විවාදයක් තියෙනවා. සීරියස් මසල් කාර් ෆෑන්ස් ලා තර්ක කරන්නේ මසල් කාර් කියන්නේ V8 එන්ජින් තියෙන ඒවට විතරයි කියලා. අනික වයිපරේ එහෙම අඩුවට ගන්න පුළුවන් කාර් එකක් වුණෙත් නැහැ. 5 වෙනි ජෙනරේෂන් එකේ කාර් එකේ මිල තිබුණේ ඩොලර් 97,395 - 120,395 රේන්ජ් එකේ.


මේ පහළ තියෙන්නේ පළවෙනි ජෙනරේෂන් එකේ වයිපරේ මූලික විස්තර ටික. 

එන්ජිම:
8.0 L (488.2 cu in) V10
400 hp (298 kW)
465 ft lbf (630 Nm) 

 
පර්ෆෝමන්ස්:

0-60: 4.5 sec
0-100: 10.0 sec
1/4 mile: 12.5 sec @ 120 mph (193 km/h)
Top speed: +180 mph (290 km/h)


මේ පහළ තියෙන්නේ 5 වෙනි ජෙනරේෂන් එකේ, ඒ කියන්නේ 2013 ඉඳන් ඉදිරයට ආපු වයිපරේ විස්තර. 

එන්ජිම: 
Engine:  8.4L  V-10,  (512 cu in.)
 640 hp @ 6150 rpm   ( 2015 න් පස්සේ 645hp)
605 lb-ft


පර්ෆෝමන්ස්:
0-60: 3.0 sec
Top speed: 202 mph  (325 km/h)


(මූලික තොරතුරු ගත්තේ 'ද වයිපර් ස්ටෝර්' වෙබ් එකෙන්. පහළ තියන අපූරු ආර්ට්වර්ක් එකත් එයාලගේ. ටොප් ස්පීඩ් එක වගේ තොරතුරුවල පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන්. මේක වයිපර් එකේ චන්ඩිකම් ගැන අවබෝධයක් ගන්න විතරයි දාන්නේ).  

වයිපරේ විකාශනේ

අලුත් වයිපර් එකට මූලික ආභාෂය සැපයුවේ ෂෙල්බි මස්ටෑන්ග් එක කියලයි කියන්නේ. 1989 North American International Auto Show එකේදී මුලින්ම මේකේ කන්සෙප්ට් එක එළිදැක්වූවා. මුල්ම ප්‍රඩක්ෂන් කාර් එක මාකට් ආවේ 1992 දී. ඒ 8l 400bhp (ලැම්බෝගිනි ටියුන් කරපු) V10 එන්ජිමක්  එක්ක. එදා ඉඳන් 1992-2010 සහ 2012-2017 කියලා අදියර දෙකකට විවිධ මාදිලිවල වයිපර් වෙළඳපොළට ආවා (2011 මොඩ්ල් ඉයර් එකට කාර් එකක් ආවේ නැහැ).


වයිපර් ඇඩ් එකක්
හදිසියේම ඩොජ් වයිපර් එක ගැන ලියන්න හිතුණේ ලබන අවුරුද්දෙන් පස්සේ ආයේ මේ නූතන සරදියෙල් අලුතින් මාකට් එකට එන්නේ නෑ කියලා ආරංචි වුණු හින්දයි.

මගේ හීන ගරාජ් එක ඇතුළේ වයිපරයක් තිබ්බේ නැහැ. මගේ හීන ගරාජ් එකේ ෂෙවී බෙල් එයාර් එකට පිටිපස්සෙන් සහ ප්ලිමත් බැරකූඩා එකට ඉස්සරහින් අලුත් මස්ටෑං එකකුයි කෝවෙට් එකකුයි පාක් කරලා තියනවා. නමුත් මගේ හීන නේබර්හුඩ් එකේ වත් වයිපර් එකක් තිබුණේ නැහැ.

ඒ වුණාට වයිපර් එක අතීතයේ ප්‍රේම කතාවක් බවට පත්වෙන්න ආසන්නයි කියලා දැනුණාම හීන් දුකක් හිතට ආවා. වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් කියලා සුනිල් එදිරිසිංහ කියලා ෆෝමියුලා වන් ඩ්‍රයිවර් කෙනෙක් කියලා තියනවා...

අවසාන වශයෙන් ඩොජ් වයිපර් එකේ 25 වෙනි උපන්දිනේ සමරන්න special edition කාර් 28 ක් හදනවා කියලා සමාගම කිව්වා. කියලා කටගන්න හම්බවුණේ නැහැ. විනාඩි 40 ක් ඇතුළත කාර් ටිකට ඕඩර් සෙට් වෙලා ඉවර වුණා.  මේ ගැන හොඳ ලිපියක් CNN එකෙත් තියනවා. දැම්මම හොට දැම්මොත් එයාලගේ main page එකෙන්ම ඕක ඩැහැගන්න පුළුවන්. 

අන්තිම edition එක ගැන කතාකරද්දී බොහෝවිට පාවිච්චි වෙලා තිබුණු පින්තූරේ මේකයි.

ලෝකේ iconic වාහන මෙහෙම එකින් එක අවසන් වෙනවා දකින එක හිතට ලොකු දුකක්. ලෑන්ඩ්රෝවර් ඩිෆෙන්ඩර් එක මෑතකදී සමුගත්තාමත් ඩිෆෙන්ඩර් ෆෑන්ස්ලාට ලොකු දුකක් දැනෙන්න ඇති. දැන් වයිපර් එකත් යන්න යනවා. මේ විදිහට කාර් සංස්කෘතිය ලයිව් විදිහට පවත්වගන්න දත කාගෙන උරදීපු, සාමාන්‍යයෙන් කෙනෙකුට සුපර් කාර් ගන්න අවශ්‍ය වෙන තරමටම ශරීරයේ අවයව විකුණන්නේ නැතුව ගන්න පුළුවන් මේන්ස්ට්‍රීම් කාර් එකින් එක යන්න යයි.

අපි හැමෝම පොල් ගාන මැෂින්වල තියන මෝටර් වලින් දුවන ලෙඩ සපත්තු සහ කාඩ්බෝඩ් පෙට්ටි එළවන කාලයක් උදාවෙයි...

එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නෑ...


www.facebook.com/CarPissuwa

Friday, July 1, 2016

අබාත් අප්පුහාමිලාගේ පියට්ටුවා මහතා ආගිය අතක් නැත. සොයාදෙන්න.




ෆියට් කිව්වහම ලෝකේ අනික් රටවල මිනිස්සුන්ට මතක් වෙන්නේ ගොඩක් වෙලාවට 127 Coupe එක සහ 124 Sport Spider එක වගේ වාහන. එහෙම නැත්නම් අලුත් Punto හරි Panda හරි වගේ වාහන (මයික්‍රෝ එකේ ගොබ්බයා නෙමෙයි. ෆියට් එකේ පැන්ඩා). අපේ රටේ ෆියට් කියපු ගමන් බොහෝ වෙලාවට අනික් පැත්තට හම්බවෙන්නේ එකම එක උත්තරයයි. 

"ආආආආආආආආආ.... බග් පියට්!" 

ඊට පස්සේ, ඒ උත්තරේ විස්තෘතයක් විදිහට මෙන්න මේ වගේ දේවල් වැහි වහින්න පටන් ගන්නවා. 

"අපේ මහප්පට තිබුණා ඉස්සර බග් පියට් එකක්. එන්ජිම පස්සේ. මේන් මෙච්චක් විතර හිච්චි වාහනේ. මං කිව්වද ඕකේ එන්ජිම තියෙන්නේ පස්සේ කියලා? ඔකේ එන්ජිම තියෙන්නේ පස්සේ. පොඩි වුණාට ඕකේ හොඳට ඉඩ තියනවා. දන්නවද ඕකේ එන්ජිම තියෙන්නේ පස්සේ කියලා? ආ මං කිව්වා නේද? ඕකේ එන්ජිම තියෙන්නේ පස්සේ. පොස්සගන් වලත් එන්ජිම තියෙන්නේ පස්සෙ නේ. ඕකෙත් එන්ජිම තියෙන්නේ පස්සේ..." 

අතීතයේ එක්තරා සරත් සෘතුවක මට ෆියට් 500 හෝ 600 එකක් ගන්න ආසාවක් ආවා. මට මතක හැටියට ඒ ආසාව දරුණු වුණේ 2012 මෝටර් ෂෝ එකේදී හම්බුණු මෙන්න මේ පොඩ්ඩා නිසා. 








මෙයාගේ අයිතිකාරයා කවුද කියන්න මම අදටත් දන්නේ නැහැ. මේකා නිසා මගේ පිස්සුව උත්සන්න වුණු පාර මම පංචිකාවත්තේ නෙළුම් මෝටර්ස් එකට කෝල් එකක් ගත්තා. 

"හෙලෝ... මේ... ෆියට් 500, 600 වලට පාට්ස් තියනවද බලන්න ගත්තේ..." 

"මහත්තයාගේ කාර් එකේ අවුරුද්ද මොකක්ද?" 

"තාම කාර් එක ගත්තේ නෑ..." 

(එහා පැත්තෙන් 'මොන ... ක්ද' කියන්නා වගේ සුසුම් හඬක් ඇහුණා.) 

"මහත්තයා කොහෙන්ද කාර් එක ගන්න යන්නේ?"

"තාම කාර් එකක් හොයාගත්තේ නැහැ." 

(එහා පැත්තෙන් අර ...ක්ද සුසුම් හඬ ආයේ ඇහුණා) 

"බඩු තියනවා මහත්තයා. අවුලක් නැහැ." 

ඒක එච්චරම convincing සංවාදයක් නොවුණු නිසා මම ටිකක් අධෛර්යය වුණා. ඒත් මම උනන්දුව අතඇරියේ නැහැ. ඊට පස්සේ මට එගොඩඋයනේ පාළම ළඟ තිබිලා පියට්ටුවෙක් හම්බ වුණා. කාර් එක බලන්න කලින් මම අයිතිකාරයා එක්ක කතා කළා. වාහනේට කෑලි හොයන්න පංචිකාවත්තේ ගිය හැටි, හදන්න විශේෂ බාස්ලා හොයපු හැටි, සමහර කෑලිවලට සෙකන්ඩ් හෑන්ඩ් ඒවා දාන්න වුණු හැටි වගේ දේවල් එයා කිව්වා. ඒ විස්තරේ අහලා වාහනේ බලපුවාම මට හිතුණේ යකෝ මූ මෙච්චර නැහිලත් වාහනේ නිකං මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා එළියට ගත්තා වගේ මලකඩ පාටයි නේ කියලා. 

මම දැකපු දුර්වලම මාකටිං එෆර්ට් අතරින් එකක් තමා උගේ වාහන විකිණිල්ල. (ආ! නෑ, තව දෙකක් තියනවා. 1. ගාල්ලේ එකෙක් දාලා තිබුණා ගොල්ෆ් එකක් විකුණන්න, පින්තූරේ නැතිව, එන්ජිම 100% යි බොඩිය 90% යි කියලා. එතකොට මම එච්චරම තැම්බිලා නැහැ. මම උගෙන් ඇහුවා ඇයි 90% කියලා දාලා තියෙන්නේ කියලා. මූ මට බනින්න පටන් ගත්තා මේවා අලුත් වාහන වගේ නෙමෙයි අඩුපාඩු තියනවා කියලා. ඔන්න ඉතින් මම ඌට කියනවා මම ඇහුවේ එහෙම දාලා තියෙන්නේ මොකද කියලා විතරයි කියලා, ඌ ඒක අහන්නේ නැතුව බර බර ගානවා. තව දෙන්නෙක් ඔය ප්‍රශ්නේ ඇහුව නම් මනුස්සයා දිවංගත වෙනවා. 2. පාදුක්කේ අර අමුතු කතා කියලා දැන්වීම් දාන හාදයා දවසක් මාව ලයින් එකේ තියාගෙන අක්කා කෙනෙකුට ගෑස් ලිපක් හදන හැටි කියලා දුන්නා. මම ඔක්කොම අහං ඉඳලා අනිද්දා වාහනේ බලන්න පුළුවන්ද ඇහුවම පොර කිව්වා අනිද්දා වෙනකල් තිබ්බොත් පෙන්නන්නං කියලා. අනිද්දට උඹම බලාගනින් කියලා හිතලා මම ෆෝන් එක තිබ්බා)

එගොඩ උයනේ පියට්ටුවා සැලකිය යුතු කාලයක් දෑස රිදෙනකල් පාර බලා ඉඳලා ඉතිහාසයේ කුණු බක්කියට වැටිලා ගියා. (කවුරුහරි අරන් යන්න ඇති ඉතිං. අනේ මන්දා!)

එතනින් පස්සේ මගේ ආසාව ඔටෝ යට ගියා. 

මේ ආසාව ආපහු ඔලුව ඉස්සුවේ ටොප් ගියර් බලන්න ගත්තමයි. හැබැයි ඒ පරණ 500 එක ගැන නෙමෙයි. අලුත් 500 එක ගැන. 

ලේසියෙන් අලුත් වාහනේකට දපනේ වැටෙන්නේ නැති මං Fiat 500 Abarth එකට පිස්සු වැටුණා. 

ෆියට් එක පරණ 500 එකේ අලුත් වර්ෂන් එකක් අඳුන්වලා දෙනවා කියලා නිවේදනය කළේ 2006 අවුරුද්දේ. 2007 දී මේක වෙළඳපොළට ආවා. මගේ ඇහැට අනුව ඒක හරිම හුරතල් කාර් එකක්. එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් බොහොම ප්‍රායෝගික කාර් එකක් (දොර දෙකයි, ඉඩ අඩුයි තමයි. ඒත් ඒක ඕනම තුම්මුල්ලක පාක් කරන්න පුළුවන්).

මේකේ සාමාන්‍ය shopping car වර්ෂන්ස් අතරේ මේකේ හොට් හොට් වර්ෂන් එකකුත් ආවා Fiat 500 Abarth කියලා. Abarth එක දැනට ක්‍රියාත්මක වෙන්නේ Fiat group එකේම in-house tuning subsidiary එකක් විදිහට. මේක අර hot hatch සංකල්පය වගේම සිටි කාර් එකක පවර් එක වැඩිකරලා එන වර්ෂන් එකක්. මේක ආවේ Ford Fiesta ST, MINI Cooper S සහ Peugeot 208 GTi වගේ කාර් වලට rival කාර් එකක් විදිහට කියලයි ඔටෝ එක්ස්ප්‍රස් එක කියන්නේ. මම කොහොමත් අලුත් ෆෝඩ් වලට එච්චර කැමති නැහැ. අලුත් මිනි එක මට ටිකක් විකාරයි වගේ. පර්ජෝ එක්ක එච්චර ලොකු ළෙන්ගතු කමක් ඇතිකරගන්න මට අමාරුයි. 

ඒ නිසා මම Fiat 500 Abarth එකට පිස්සු වැටුණා.  



මේකේ 1.4 l වර්ෂන් එක ගැන ඔටෝ එක්ස්ප්‍රස් එකේ ලියවුණු ලිපියකට අනුව මේකේ බලය 133hp. 0-60 කාලය තත්පර 7.9 ක්. ඒ වගේම ඒ ලිපියේ 595 Abarth එක ගැනත් තියනවා. ඒකෙ බලය 160hp. 'Car and Driver' එකෙත් මේ ගැන පැණි බේරෙන රස වෑහෙන විස්තරයක් තියනවා. ඔයාලට අවශ්‍ය නම් Abarth එක ගැන ඇස් දෙකයි කන් දෙකයි තවත් අවයවයි පිරෙන්න යූ ටියුබ් වීඩියෝ බලන්න පුළුවන්. 




කොච්චර ආසා වුණත් ඒ ගැන විස්තර ටිකක් අහගන්න මං දන්න එකෙක් ගාවවත් මේකක් නැහැ. Abarth එකක් තියා නිකම් 500 එකක් වත් මං දන්න කා ගාවවත් නැහැ. පිටරට අය කියන ඒවා අහනවට වඩා අපේ එකෙක් ඒ ගැන කියන දෙයක් අහන්න තියනවා නම් වටිනවා. මේක අහවලා ගාව තියනවා, නෑ අහවලා ගාව තියනවා වගේ ආරංචි සැරින් සැරේ ආවත් ඒ එකක්වත් ඇත්ත වුණේ නැහැ. එක වතාවක් මම එක තැනකට යන්නත් හිතන් හිටියා බලන්න. නමුත් අන්තිමට බලනකොට ඒක BMW Z4 එකක් කියලා ආරංචි වුණා.

ඒ නිසා ඔන්න විවෘත ඉල්ලීමක් කරනවා. අනේ ලොකු පිනක්! පුළුවන් නම්, Fiat 500 Abarth එකක් අයිති කෙනෙක්, පැදපු කෙනෙක් ඉන්නවා නම්, ඒ ගැන විස්තර කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. 

එහෙම කළොත් ලබන ආත්මේ ඔයාට ෆෙරාරි එකේ test driver කෙනෙක් වෙන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 


https://www.facebook.com/CarPissuwa