Thursday, June 2, 2016

ඔයාට Prii වුණාට අපිට Prii නෑ හරිද! (වාහන Models වලට නම් දාන හැටි...)




ලොතරැයි දැන්වීමක් දකින වාරයක් ගානේ අපේ මිනිස්සු ජොලියට කියන දෙයක් තමයි දැන් ලොතරැයි වලට දාන්න නම් නෑ කියන එක. මොකක් හරි හේතුවකට කොළඹ ඇවිත් ඇවිත් වැඩේ කරගන්න බැරුව මල පැනලා යන අහවල් වත්තේ රංජි අයියා ලොතරැයි කොම්පැනියක් ඉස්සරහින් 'අම්මට ...' කියලා බැනගෙන ගියොත් පහුවෙනිදා ඉඳන් 'කෝටි ගණන් තෑගි ගෙනෙන අම්මට ...' කියලා ලොතරැයියක් එනවා. තත්ත්වේ මේ වෙනකොට ඒ තරම්ම pathetic... 

කාර් වලට නම් දාන වැඩෙත් හරියට ඒ වගේ. අතීතයේ නම් මේවයේ අමුතු ගතියක් තිබුණා. ෆෝඩ් තන්ඩර් බර්ඩ්, ෂෙව්රලේ කමාරෝ, පොන්ටියැක් ෆයර් බර්ඩ්, ෆෝඩ් මස්ටෑන්ග් වගේ නම් අදටත් අපි මතක් කරන්නේ ගෞරවයකින් වගේ. මේ බොහොමයක් කාර් එහෙම විශිෂ්ට කාර් නෙමෙයි. Performance අතින් ගත්තාම මේවා තෙල් බොන, වංගු ගන්න අමාරු, නඩත්තු කරන්න ගියාම පණ එපාවෙන කාර්. එත් මේවා iconic. එහෙම iconic වෙන්න ඒවාට දාන මාදිලි නාමත් යම්තාක් දුරකට බලපානවා. අදටත් කාර් කොම්පැනි තමන්ගේ අලුත් වාහන මාදිලිවලට නම් දාන්න ඩොලර් 50,000 විතර ඉඳන් ඉහලට වියදම් කරන්නේ ඒ නිසයි.නමුත් අද කොම්පැනි වලට තියන ලොකුම ප්‍රශ්නේ තමයි හොඳ හොඳ නම් ගොඩක් දැනටමත් භාවිතා වෙලා තිබීම. ඒ නිසා හරියටම හරියට නමක් හොයාගන්න එයාලා බොහොම desperate...

ෆෝඩ් තන්ඩර් බර්ඩ් කියන නම තිබ්බේ ඇල්ඩන් ගිබර්සන් කියන කාර් සැලසුම් ශිල්පියා බව CNN වෙබ් අඩවියේ 2008 අවුරුද්දේ පළවුණු ලිපියක තියනවා. ඒ 1954 අවුරුද්දේදී. තමන්ගේ අලුත් කාර් මාදිලිය නම් කරන්න ෆෝඩ් සමාගම පවත්වපු තරගයකින් ගිබර්සන් ජයග්‍රහණය කළා ලු. ඒ වෙනුවෙන් එයාට ඩොලර් 95 ක් වටින සූට් එකකුයි ඩොලර් 42 ක් වටින කලිසමකුයි හම්බ වෙලා තියනවා. 



අද දවස වෙනකොට ගොඩක් කාර් කොම්පැනි වෙනුවෙන් එයාලගේ අලුත් වාහන මාදිලි නම් කරන්නේ ඒ සමාගම්වල  දැන්වීම්කරණ කටයුතු සිදුකරන ආයතනයි. මේ පිළිබඳව අත්දැකීමක් විලියම් ජීන්ස් 2011 දී ඔටෝබ්ලොග් වෙබ් අඩවියේ ලියලා තියනවා. එයා ඒ කාලයේ ෆෝඩ් සමාගමේ දැන්වීම් කටයුතු සිදුකරපු ඒජන්සියේ වැඩ කළා. ෆෝඩ් ටෝරස් (Taurus) එක නම්කරපු කණ්ඩායමේ එයත් වැඩකරලා තියනවා. 

Advertising ගැන නොදන්නා සමහර අය හිතන විදිහට නමක් දානවා කියන එක ඒ තරම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තම කියනවා නම් නමක් දානවා කියන එක සම්පූර්ණ කැම්පේන් එකක් කරනවාටත් වඩා අමාරු වෙන්න පුළුවන්. ටෝරස් එක නම් කරපු කාලයේ මීටින් ඇදිඇදී ගිය විදිහට තමන්ට එපා වුණා කියලා ජීන්ස් කියනවා. කට්ටිය කොච්චර depress වුණාද කියනවා නම් එයා එකපාරක් විහිළුවක් විදහට 'හවර්ඩ්' (Howard) කියන නමත් යෝජනා කළා ලු. ඇඩ් මැනේජර්ට එපාවෙච්ච තරම කියනවා නම් එයා ෆෝඩ් සමාගමේ පනස් ගණන්වල අතිශයින් අසාර්ථක වුණු කාර් මාදිලියක නමක් වෙන 'එඩ්සල්' (Edsel) නම ගේමු කියලා යෝජනා කරලා තියනවා. අන්තිමට කට්ටිය එකඟ වෙලා තියෙන්නේ, ෆෝඩ් සමාගමේ ඉංජිනේරුවෝ මේ අලුත් කාර් එක ඩිවෙලොප් කරන කාලයේ නිකමට වගේ පාවිච්චි කරපු ටෝරස් කියන නමටමයි. 



මේ ගැටලුව සාමාන්‍යයෙන් මර්සිඩීස් බෙන්ස් සහ BMW  වගේ සමාගම්වලට ඇතිවෙනවා අඩුයි. මොකද එයාලා තමන්ගේ වාහන අතරින් බහුතරයක් නම් කරන්න සම්මත ක්‍රමයක් පාවිච්චි කරනවා. 

BMW එකේ ක්‍රමේ සරලයි. එයාලා එක ලෙවල් එකක් Series කියලා හඳුන්වනවා. ඒ අනුව 1 series ඉඳන් 7 series එනකල් එයාලාගේ වාහන තියනවා. මේවායේ prestige එක වැඩිවෙන්නේ අංකයේ වටිනාකම වැඩිවෙන තරමටයි. ඒ අනුව සුඛෝපභෝගී සහ specs වැඩිම series එක තමයි 7 series එක (මේක සාමාන්‍යකරණයක් බව ඇත්ත. උදාහරණයක් හැටියට කෙනෙකුට 5 series එකේ higher spec වාහනයක් 7 series එකේ basic වාහනයකට වඩා හොඳයි කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් මූලධර්මයක් විදිහට ගත්තාම 3 හෝ 5 series වලට වඩා 7 series එක ඉහළයි).

මීට සාපේක්ෂව මර්සිඩීස් බෙන්ස් පාවිච්චි කරන්නේ Class කියලා ක්‍රමයක්. මේක නම් දැන් අතිශයින් සංකීර්ණයි. ඒක විස්තර කරනවා නම් වෙනම ලිපියක් ලියන්න වෙනවා. ඒ නිසා E Class, C Class, S Class, A Class විදිහට එයාලගේ වාහන එන බව දැනට මතක තියාගන්න. මේ දෙගොල්ලන්ගේම වාහන මාදිලිවල වෙනස්කම් වලට තවතව අතිරේක ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් එකතු වෙනවා. BMW E36 M3 සහ Mercedes SLK 350 AMG මේවට උදාහරණ විදිහට පෙන්නන්න පුළුවන්. BMW එකේ lineup එක ගැන නම් ඔයාලට Wikipedia බැලුවත් ඉගෙනගන්න පුළුවන් වේවි. නමුත් මර්සිඩීස් බෙන්ස් එකේ ක්‍රමේ ඉගෙනගන්න නම් ඒ ගැන පශ්චාත් උපාධියක් කරන්න වෙනවා.

මේ අතර සමහර සමාගම් තමන්ගේ වාහනවලට නම් තියන්න තාමත් තරග තියනවා. උදාහරණයක් විදිහට ලංකාවේ අපි කවුරුත් දන්න (සමහර විට ලෝකේ boring ම කාර් එක කියලා කට පුරා කියන්න පුළුවන්) නිසාන් සනී එකට නම තිබ්බේ තරගයකින් පස්සෙයි. මේකට අදාළ දැන්වීම ඩැට්සන් සමාගම (පස්සේ නිසාන්) පළකළේ 1966 ජනවාරි පළවෙනිදා තරම් ඈතකදී. ඒකට යෝජනා මිලියන 8.48 ක් ආපු බව නිසාන් ග්ලෝබල් වෙබ් අඩවියේ සඳහන් වෙනවා. සනී කියන නම තෝරගෙන තියෙන්නේ ඒ අතරිනුයි. 

ඒ වගේම ටොයෝටා සමාගමේ Prius එකට බහුවචනයක් හොයන්නත් එහෙම ජනතාවගේ අදහස් ගත්තා. මේක කරන්න හේතුව වුණේ ප්‍රියස් කියන එක ලතින් වචනයක් වීමයි. ප්‍රියස් කියන්නේ ලතින් භාෂාවෙන් 'පුරෝගාමී' වගේ තේරුමක් දෙන නමක්. ලතින් වලින් මේකේ බහු වචනය වෙන්නේ Priora කියන එකයි. නමුත් Priora කියන එක ඒ වෙනකොටත් Lada Priora වාහනේට භාවිතා වෙලා තිබුණ නිසා ටොයෝටා සමාගමට එක භාවිතා කරන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් එයාලා ජනතාවගේ අදහස් විමසුවා.



අන්තිමට ජයගත්තේ Prii කියන වචනයයි. ඒ කොහොම වුණත් තාමත් සාමාන්‍ය භාවිතයේදී අපි කවුරුත් Prius එකේ බහු වචනය Priuses කියලා භාවිතා කරනවා. මොකද ටොයෝටා එකට මඤ්ඤං වුණාට අපට මඤ්ඤං නෑ. 

මේ මාතෘකාව ගැන ලියනවා නම් තව ගොඩක් දේවල් ලියන්න පුළුවන්. දැනට මම මේ ලිව්වේ වාහන මාදිලි නම් කරන ක්‍රියාවලියේ පසුබිම ගැන. මේවායේ රස කතා ටිකක් හොයලා පස්සේ දවසක දාන්නම්. 

(මේ විෂය ගැන අවධානය යොමුකරවීම සම්බන්ධයෙන් අරුණ පෙරේරාට මගේ ස්තුතිය)

16 comments:

  1. http://www.oddee.com/item_93544.aspx මේකත් බලන්න, සමහර වර්ෂන්වල නම් සමහර රටවලදී අවුලක් වුන හැටි.

    ReplyDelete
  2. හොඳයි තරිඳු! අවධානයට ඉක්මන් ප්‍රතිචාර..තෑන්ක්ස්. අපි නොදන්න මෙවන් තොරතුරු සොයා ඉදිරිපත් කිරීම වැදගත්. කාර්මික පැත්ත වගේම රසවත් තොරතුරුත් ලියන්න. ඔහොම යං!!

    ReplyDelete
  3. දිරිමත් කිරීමට බොහොම ස්තුතියි!

    ReplyDelete
  4. ai ban , me jara car gana artical danne

    ReplyDelete
    Replies
    1. ජරා??? තන්ඩර්බර්ඩ්? ජරා???

      Delete
  5. Replies
    1. බොහොම ස්තුතියි. හැමතිස්සෙම දෙන සහයෝගය ගොඩක් වටිනවා!

      Delete
  6. අර අරිසෙන් අහුබුදුගේ දුවට කියුවනං හරිනේ

    ReplyDelete
    Replies
    1. Ideas දෙන්න එපා දෙයියනේ. ඊට පස්සේ මයික්‍රෝ ම්ස්ඳුනී ම්ත්ශ්සිමා වගේ නම් තියන කාර් එයි...! :D

      Delete
  7. ඇයි මචෝ Sunny එක boring. ඒක ලංකාවේ ගොඩක් ජනප්‍රියයිනේ. FB14, FB15 වගේ.

    ReplyDelete
    Replies
    1. වරදවා තේරුම් ගන්න එපා, ඒවා නරක කාර් නෙවෙයි. ඒ වුණාට ඒවා Point A ඉඳන් Point B එකට යන්න හදාපුවා මිසක් driving pleasure එක ගැන එක හූනු බිජුවක් තරම් හිතලා හදපුවා නෙමෙයි. ඒ නිසා කාර් පිස්සෙකුට සනියක් එලෙව්වාම බස් එකක ගියාට වඩා වෙනසක් දැනෙන්නේ නැහැ.

      Delete
    2. "සමහර විට ලෝකේ boring ම කාර් එක කියලා කට පුරා කියන්න පුළුවන්" Nah Nah Namai!!!!!!!!!!!
      Sunny eka reliable Civic eka wagei et Puruwe karumeta Vtec wgae engine ekak nissan damme naa sunnyata

      Delete
  8. මිඩ්ල් ඊස්ට් ඉන්න මගේ සහෝදරයා කිව්වා නිසාන් සනී ගන්නෙ ඉන්දියානුවොලු. ලංකාවෙ උන් ගන්නෙ බොහෝවිට ටොයෝටාලු.
    රසවත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. බරපතළ රිසර්ච් වලින් ඉගෙන ගන්න බැරි දේවල් අපට buying habits දිහා පරිස්සමෙන් බලලා ඉගෙනගන්න පුළුවන්. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි!

      Delete
  9. එල ද බ්‍රා වගේ නමක් කොහමද

    ReplyDelete