Wednesday, May 25, 2016

Mahindra e2o- කැතට අලුත් අරුතක්




ඔබ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් කාර් ගැන ටිකක් විතර උනන්දු කෙනෙක් නම් Reva හෝ G-Wiz කියන නම් අහලා ඇති. 2009 අවුරුද්ද වෙනකල්ම සමස්තයක් විදිහටම අලෙවි වුණු ඔක්කොම මාදිලි එකතු කළාම ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙන ඉලෙක්ට්‍රික් කාර් එක (මේක ඇත්තටම යුරෝපයේ සහ ඇමරිකාවේ  'කාර්' කියන කැටගරියට වැටුණේ නැහැ) විදිහට තිබුණේ මේ Reva කාර් එකයි. 2001 සහ 2012 අතර මේ කාර් 4,600 ක් විතර ලෝකේ පුරා විකිණිලා තියනවා. 

ඔන්න දැන් G-Wiz එක Mahindra e2o විදිහට ආයෙත් මතුවෙලා. මේක ඉලෙක්ට්‍රික් කාර්වලට කැමති අයට හොඳ ආරංචියක් වගේම ඉලෙක්ට්‍රික් කාර් වලට අකමැති අයට බකස් ගාලා හිනා යන ආරංචියක්.  හැබැයි මේක අද ඊයේ ආපු එකක් නෙමෙයි. මේක ඉන්දියාවට හඳුන්වලා දුන්නේ 2013 දී.

මේ ඊ-ටූ-සීරෝ නෙමෙයි; ඊ-ටූ-ඕ. රේවා ඉලෙක්ට්‍රික් කාර් සමාගම නිර්මාණය කළේ චේතන් මයිනි කියන ඉන්දියානු ජාතිකයා. 2010 දී මහින්ද්‍රා සමාගම ඒ සමාගමේ 55.2% කොටස් මිලදීගත්තා. සමාගම 'මහින්ද්‍රා රේවා ඉලෙක්ට්‍රික් කාර් පුද්ගලික සමාගම' විදිහට නම්කෙරුණේ ඊට පස්සේ. 

Reva එක බ්‍රිතාන්‍යයේ අලෙවි කෙරුණේ G-Wiz කියන නමින්. මේක ඒ රටවල හයිවේ එකේ දුවන්න පුළුවන් වාහනයක් විදිහට සැලකුණේ නැහැ. ඇමරිකාවේදී මේක අයිති වුණේ Neighborhood Electric Vehicle (NEV) කියන කාණ්ඩෙට. යුරෝපයේ මේක Quadricycle කියන කාණ්ඩෙට අයිති වුණා. මේ නිසා සාමාන්‍යයෙන් කාර් වලට අදාළ වෙන සුරක්ෂිතතා පරීක්ෂණ Safety tests මේකට අදාළ වුණේ නැහැ. G-Wiz එකට තිබුණු ලොකුම විවේචනයක් තමයි ඒක. උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍යයේ කැපීපෙනෙන විද්‍යාඥවරියක් වුණු ජූඩිත් නඩාල් 2011 වසරේදී තමන්ගේ G-Wiz රථය පදවාගෙන යද්දී ස්කෝඩා ඔක්ටාවියා කාර් එකක හැප්පිලා එතනම මියගියා. අනතුර පරීක්ෂා කරපු රසපරීක්ෂකවරයා කිව්වේ අනතුරකින් මේ තරම් දරුණු විදිහට වාහනයක් විනාස වෙලා තියෙනවා දැක්කේ පළවෙනි වතාවට කියලයි. 


                                                    (ඡායාරූපය ගත්තේ ඩේලිමේල් එකෙන්) 

මේ පසුබිම් කතා සේරම කිව්වේ ඇත්තටම G-Wiz එකක් ආපහු එනවා කියපු වෙලාවේ දැනිච්ච කම්පනය තාමත් හිතේ තියන නිසයි. මොකද මහින්ද්‍රා දැනට අපේ රටේ වෙළඳපොළට පිවිසිලා ඉන්න විදිහට ඕක මෙහාටත් ලොකුවට එන්න පුළුවන්. දැනටත් මහින්ද්‍රා වාහන ගෙන්නන අයිඩියල් මෝටර්ස් එකේ වෙබ් එකට ගියොත් ඔයාලට මේක දැකගන්න පුළුවන් (http://www.idealgreentech.lk/transportation/sri-lanka-electric-cars/) . 

හැබැයි මෙහෙමයි. කාර් එක දැන් ගොඩක් වෙනස් වෙලා. දැන් ඒකෙ තියෙන්නේ කිලෝවොට් 31 මෝටරයක්. එකෙන් 41bhp පවර් එකක් සහ 67lb.ft ටෝක් එකක් දෙනවා. වාහනේ ප්ලාස්ටික් කන්දරාව සැහැල්ලු වුණාට බැටරි පැක් එක බර නිසා වාහනේ බර කිලෝ 945 ක් වෙලා. මේ ඔක්කොම එක්ක 0-60 වෙලාවක් කියන්න බැහැලු. ඉතින් එයාලා 0-25 වෙලාවක් කියනවා. ඒකටත් තප්පර 4.9 ක් යනවලු.එක පාරක් චාජ් කළාම කිලෝමීටර 126 ක් විතර යන්න පුළුවන්. ඊට අමතරව හදිස්සියකට රිසව් එකේ කිලෝමීටර 12 ක් විතර යන්නත් පුළුවන් වෙනවා. වාහනේ 80% ක් චාජ් වෙන්න යන්නේ පැයක විතර කාලයක්. Visibility එකත් නරක නෑලු.

ඒ වගේම වාහනේ පදවලා බලපු අය කියනවා දැන් සැපපහසුව නම් ටිකක් හොඳයි කියලා. වාහනේ ළඟ හරවන්න පුළුවන් නිසා ටවුන් වල පාවිච්චි කරන්නත් හොඳයි ලු. සස්පෙන්ෂනුත් හොඳයි කියල තමයි කියන්නේ. හැබැයි හුළඟකට අහුවුණොත් එහෙම ඇතුළේ ඉන්න අයගේ ලේ වතුර වෙන්න ඉඩ තියනවා. 



හැබැයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ දැනට මේ වාහනේ එංගලන්තෙත් ටිකක් ගණන් එකයි. එංගලන්තේ මේක විකුණන්නේ පවුම් 12,995 ඉඳන් ඉහලට ලු. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් ලක්ෂ විසි අටකට කිට්ටුයි. මේ ගාන එන්නේ රජයෙන් ඉලෙක්ට්‍රික් වාහනවලට දෙන සහන එහෙමත් අඩුවුණාට පස්සේ. ඉන්දියාවේ 2013 දී මේක ආවේ ඉන්දියානු රුපියල් ලක්ෂ 6 කට. ඒ ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත රජයෙන් දෙන 29% ක සහනයටත් පස්සේ. හිනාවෙන්නද අඬන්නද කියලා මට හිතාගන්න බැරිවුණා.

Mahindra e2o කියන්නේ කැතම කැත වාහනයක්. ඒකෙ ආයේ දෙකක් නැහැ. හැබැයි මෙහෙමයි. ටොයෝටා ප්‍රියස් කියන්නෙත් කැතම කැත වාහනයක් තමයි. ඒත් අපේ රටේ වගේම ලෝකේ පුරා මිනිස්සු ඒක පොර කකා ගන්නේ නැද්ද? ප්‍රියස් එක වගේ නම් e2o එක මාකට් වෙන එකක් නැහැ. හැබැයි හෙට වෙන දේවල් අපට අද කියන්න බැහැ. මාකට් එක මඤ්ඤං වෙන්නේ අපි කවුරුවත් හිතන විදිහට නෙමෙයි!


Wednesday, May 18, 2016

Ford Mustang EcoBoost- පිස්සුද හැටිද?


ඉස්සරලාම Ford Mustang EcoBoost කියන නම දැකපු හැටියේ මට හීල්ලුණා. Eco කෑල්ල ආපු ගමන් වාහනේක ෆන් එකෙන් දෙකෙන් පංගුවක් නැතිවෙනවා කියන එක තිත්ත ඇත්තක් බව කාර් පිස්සෝ දන්නවා. කොහොම වෙතත් ඔයාලා ikman.lk වගේ ලුහුඬු දැන්වීම් වෙබ් අඩවිවලට ගිහින් හරි ලහිපිට බලබලා හරි මං වගේම කාර් ගැන හූල්ලනවා නම්, සමහර විට Ford Mustang EcoBoost කියන නම ටිකක් හුරු ඇති. ඒ නිසා මම ඒ ගැන ටිකක් කතාකරන්න හිතුවා. 

Sixth Generation එකේ Mustang එක ආවේ 2015 අවුරුද්දේ. මේක එන්ජින් වර්ග 3 කින් එන බව ෆෝඩ් සමාගම නිවේදනය කළා. ඒ තමයි 3.7 L V6 'Cyclone' එන්ජිම, 2.3 L EcoBoost එන්ජිම සහ 5.0 L GT 'Coyote' එන්ජිම. මීට අමතරව GT350 එකේ (මේක Shelby Mustang එකක්. ඒ කියන්නේ ඉතිං ලොවෙත් නැතිවෙන්න පවර් එක වැඩිකරපු එන්ජිමක් තියන කාර් එකක්) 5.1 L එන්ජිමක් ආවා. 

කාර් ගැන සාමාන්‍යයෙන් දන්නා ඕනම කෙනෙකුට මේකෙන් වැඩේ අනුමාන කරන්න පුළුවන්. අපි දැනට ෂෙල්බි එක අමතක කරමු. 5 L එන්ජිමේ වත් 3.7 L එන්ජිමේ වත් තියන ෆන් එක EcoBoost එකේ නැහැ. මේ බව අපිට පහළ තියන සංසන්දනයෙන් තවදුරටත් බලාගන්න පුළුවන්. මේක ගත්තේ Speed Academy වෙබ් සයිට් එකෙන්. මේක Coupe versions ගැන කරපු එකක් වුණත් පොදුවේ අපට අවබෝධයක් ලබාගන්න මේක උදවු වෙනවා. 


2015 Ford Mustang GT Premium Coupe 2015 Ford Mustang Ecoboost Premium Coupe
Price as tested: $55,449 CDN Price as tested: $35,399 CDN
Specs: Specs:
5.0 liter DOHC VCT Coyote V-8 2.3L turbocharged inline-4
11:1 compression ratio 9.5:1 compression ratio
435-hp at 6500 RPM (93 octane) 310-hp at 5500 RPM (93 octane)
400 ft-lbs at 4250 RPM 320 lb-ft at 3000 RPM
Multi-port EFI Direct Fuel Injection
3705 lb curb weight 3532 lb curb weight
Options: Options:
Competition Orange paint Deep Impact Blue paint
Recaro leather-wrapped front seats Recaro cloth-wrapped front seats
401A Equipment Group including Shaker Audio System
Performance Package including larger capacity radiator, stiffer springs and sway bars, strut tower brace and K-brace, 6-piston front Brembo brakes, 19” wheels with Pirelli P Zero tires (255 front 275 rear), unique stability control, EPAS and ABS tuning Performance Package including oil pressure and boost gauges, bigger sway bars, stiffer springs, bigger brakes with 4-piston front brakes, black 19” wheels with Pirelli P Zero summer tires (255’s all around),

නමුත් එකක් මතක තියාගන්න. EcoBoost එක නරක කාර් එකක් නම් නෙමෙයි. ඇත්තටම කියනවා නම් මේ අදහස ගැනම ලිපියක් International Business Times වෙබ් අඩවියේ පළවුණා. එයාලා කියන්නේ කවුරු මොනවා කිව්වත් අද දවසේ වැඩි දෙනෙකුට ගැළපෙන එන්ජිම EcoBoost එක කියලයි. මේක අපේ රටටත් අදාළයි. අපි ජාතියක් හැටියට මොන කාර් එක ගන්න ගියත් අහන්නේ 'කොච්චර තෙල් වැඩකරනවද?' කියලනේ. ඉතින් සිල්න්ඩර 4 එන්ජිමක් තමා අපට වඩා හොඳ. ගාණත් සාපේක්ෂව අඩුයි නේ. අනික මේක බොහොම සැපපහසු කාර් එකක්. තියෙන්නේ අපේ රටෙත් දැන් කවුරුත් වගේ දන්න Recaro සීට්. හොඳ වේග 6 ගියර් බොක්ස් එකක් තියනවා. 18 වීල් ටිකත් (Magnetic gloss painted/machined aluminum) හරිම ලස්සනයි. ඒ විතරක් නෙමෙයි, මේවාට අවශ්‍ය නම් performance package එකක් දාගන්නත් පුළුවන් (වැඩිපුර ගෙවන්න ඕනේ නම් තමයි). EcoBoost එකේ performance package එකට අයිති දේවල් ෆෝඩ් වෙබ් අඩවියේ විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. 


The EcoBoost® Performance Package includes:

• Upsized rear sway bar (Fastback only)
• Unique chassis tuning
• 13.9" front brake rotors with four-piston calipers
• Unique 19” x 9” Ebony Black-Painted Aluminum Wheels
• 255/40R19 summer-only tires*
• Unique EPAS, ABS and stability control tuning
• Engine turn aluminum instrument panel applique
• Interior gauge pack (oil pressure and boost)
• 3.55 limited-slip rear axle
• Larger radiator
• Heavy-duty front spring (Fastback only)
• Spoiler delete



මේක ලියන දවස වෙනකොට Mustang EcoBoost දැන්වීම් 5 ක් ikman එකේ පළවෙලා තිබුණා. ඒවායින් මිල සඳහන් කරලා තිබුණේ එකක විතරයි. ඒකත් කෝටි 2.7 ක්. දැන් මගෙන් අහන්න එපා මොන මගුලටද මේ ලිපිය ලිව්වේ කියලා. අර අපි ගෙදරදොරේ කියනවා වගේ කවදාහරි මහජන සම්පතක් ඇදුණොත්..? එදාට ඇවිත් මේකට කමෙන්ට් එකක් දාලා යන්න.

හැබැයි මේකත් මතක තියාගන්න. කවදාහරි මේවා ආපහු විකුණන දවසකට ඉතින් වැඩි වටිනාකම ලැබෙන්නේ GT එකට තමා... 


ෆොක්ස්වැගන් ආයෙමත් යුරෝපය ජයගනී



යුරෝපයේ මෝටර් රථ වෙළඳපොළේ වැඩියෙන්ම අලෙවිවන රථවාහන සන්නාමය විදිහට පෙරමුණේ ඉන්න ෆොක්ස්වැගන් 2016 මුල් මාස 4 ත් සමත් වෙලා තියෙනවා. ෆොක්ස්වැගන් සමාගම මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ එයාලගේ ඩීසල් වාහනවල වායු විමෝචනය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවුණාටත් පස්සේ වීම විශේෂත්වයක්. 

මීට ටික කාලෙකට කලින් ෆොක්ස්වැගන් සමාගමේ ඩීසල් වාහන සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් මතුවුණා. ඒ එයාලගේ ඩීසල් වාහන, වායු විමෝචන පරීක්ෂණ හෙවත් දුම් පරීක්ෂණවලදී බොරු කරන බවට හෙළි වීම නිසයි. මේ නිසා සමාගමට බිලියන ගණනක් පාඩු වුණා. පරිසර ප්‍රශ්න ඉස්සරහට දාලා රථවාහන කර්මාන්තය විවේචනය කරන කණ්ඩායම් සහ ෆොක්ස්වැගන් සමාගමේ තරගකාරයො එක එක මාධ්‍යවලින් මොන ප්‍රචාර අරන් ගියත් ෆොක්ස්වැගන් ගැන මිනිස්සුන්ගේ විශ්වාසය පළුදු වෙලා නැති බව මේකෙන් ඔප්පු වෙනවා. 

වොක්ස්වැගන් මේ විදිහට වෙළඳපොළේ ඉස්සරහින් ඉන්නේ, අද දවසේ බොහොම ජනප්‍රිය වාහන වර්ගයක් වන පොඩි SUV වර්ගයක් නැතුව වීම විශේෂත්වයක්. ෆොක්ස්වැගන් සමාගමේ  Tiguan සහ Touareg වාහන සාමාන්‍යයෙන් ලොකු SUV වාහන විදිහටයි ගණන් ගැනෙන්නේ. පොඩි SUV එකක් නැතිවීම සමාගමට ලොකු පාඩුවක් බව කර්මාන්තයේ විශේෂඥයෝ කියනවා. 

මේ තරම් ඉස්සරහින් ඉන්න ෆොක්ස්වැගන් එකට පුළුවන් වෙලා තියෙන්නේ Golf සහ Polo කියන වාහන මාදිලි තාමත් ගොඩක් ජනප්‍රිය නිසයි. ගොල්ෆ් කියන්නේ ෆොක්ස්වැගන් බීට්ල් එකෙන් පස්සේ සමාගම හඳුන්වලා දීපු වාහනේ බව ඔයාලා දන්නවා ඇති. ගොල්ෆ් ඉස්සරලාම වෙළඳපොළට ආවේ 1974 දී. Polo එක ආවේ 1975 දී. මේ වාහන දැන් ගොඩක් දියුණු වෙලා සහ වෙනස් වෙලා තියන බව ඇත්ත. නමුත් මේ තරම් පරණ models දෙකක් එක්ක ෆොක්ස්වැගන් සමාගම මේ තරම් දුරක් ඇවිත් තියන එක ගැන ෆොක්ස්වැගන් සමාගමේ ෆෑන්ස්ලා ගොඩක් සතුටු වෙනවා.

Monday, May 16, 2016

මිට්සුබිෂි අධ්‍යක්ෂ මණ්ඩලය නිසාන් යටතට?


අලුත් කාර් ලෝකයේ උණුසුම් පුවතක් ළඟදී වාර්තා වුණා. ඒ තමයි නිසාන් සමාගම මිට්සුබිෂි සමාගමේ 34% ක කොටස් මිලදීගන්න තීරණය කරලා තියන බව. මේත් එක්කම මිට්සුබිෂි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බලය නිසාන් සමාගමට හිමිවෙනවා.

මේ ගනුදෙනුවේදී නිසාන් සමාගම කරන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක් (යෙන් බිලියන 237 ක්). මිට්සුබිෂි සමාගම මේ ළඟදී ලොකු ව්‍යපාරික අපකීර්තියකට ලක්වුණා. ඒ 1991 ඉඳන්ම එයාලා එයාලගේ වාහන වර්ග කිහිපයක ඉන්ධන පරිභෝජනය සම්බන්ධ පරීක්ෂණ නිවැරදිව සිදු කර නොමැති බව හෙළිවුණු නිසයි.

ඒ නිසා මේ අලුත් ගනුදෙනුව මිට්සුබිෂි සමාගමට ලොකු සහනයක් වේවි. මේ ගනුදෙනුව ගැන ආරංචි වුණ ගමන්ම ටෝකියෝ කොටස් වෙළඳපොළේ මිට්සුබිෂි සමාගමේ කොටස් මිල 16% කින් ඉහළ ගියා. මීට කලින් අර චෝදනාව නැගුණු වෙලාවේ නම් සමාගමේ කොටස් මිල 43% ක් තරම් විශාල ප්‍රමාණයකින් පහත වැටුණා.

මේ ගැන අදහස් දක්වමින් නිසාන් සමාගමේ සභාපති කාර්ලොස් ගෝස්න් කිව්වේ මිට්සුබිෂි මෝටර්ස් සන්නාමය ආරක්ෂා කරන්නත් වැඩිදියුණු කරන්නත් තමන් කැපවෙනවා කියලයි. නමුත් සමාගම් පවරාගැනීම් වලදී අනාගතයේ වෙන දේවල් කාටවත් කියන්න බැහැ. ඒ නිසා මිට්සුබිෂි ෆෑන්ස් ලා ඉන්නේ ටිකක් බයෙන්. නමුත් මිට්සුබිෂි සමාගමේ සභාපති ඔසාමු මසුකෝ නම් කිව්වේ මේ හවුල්කාරීත්වයත් එක්ක මිට්සුබිෂි නාමය ගැන ජනතාවගේ විශ්වාසය යළි දිනාගන්න කටයුතු කරන බවයි.

තායිලන්තයේ Rally කාර්





Rallying හෙවත් රැලි ධාවනය කියන්නේ බොහොම ජනප්‍රිය මෝටර් රථ ධාවන තරග වර්ගයක්. මේකේ විශේෂත්වය වෙන්නේ විශේෂ රේස් ට්‍රැක් එකක වෙනුවට දුෂ්කර පාරවල් වගේ තැන්වල වාහන ධාවනය කිරීමයි. මේවායේදී පාවිච්චි වෙන්නේ, ක්‍රියාකාරීත්වය වැඩිවෙන සහ තරගයට සුදුසු විදිහට මොඩිෆයි කරපු, සාමාන්‍ය පාරේ දුවන්න නීතියෙන් අවසර තියන (රෝඩ් ලීගල්) වාහන. සුබාරු ඉම්ප්‍රෙසා WRX සහ ලාන්සර් ඊවෝ කියන්නේ මේ වෙනුවෙන්ම හදපු, අපි බොහෝ දෙනෙක් දන්න, ශ්‍රී ලංකාවෙත් බොහොම ජනප්‍රිය වාහන වර්ග දෙකක්. 

රැලි ධාවනයේ සුවිශේෂීම සන්ධිස්ථානය විදිහට මම සලකන්නේ 1980 දී Audi Quattro එක හඳුන්වා දීම. මේක නිසා Mercedes Benz 190E Cossworth එකට යන එන මං නැතිවුණු බව සමහර විට ඔයාලා දන්නවා ඇති. 

රැලි ධාවනයේ ඉතිහාසය හරි විචිත්‍රයි. සමහර වෙලාවට භයංකරයි. ඒ ගැන පස්සේ වෙලාවක වෙනම කතාකරන්නම්. මේ පෝස්ට් එක දාන්නේ තායිලන්තයේදී මම දැකපු රැලි වාහන ප්‍රදර්ශනයක පින්තූර ටිකක් ඔයාලට පෙන්නන්නයි. 

තායිලන්තයේ මිනිස්සුන්ට හොඳට කාර් උණ තියනවා. එයාලා අලුත් කාර් වලටත් ක්ලැසික් කාර් වලටත් එක වගේම උනන්දුයි; ආදරෙයි. පහුගිය පෙබරවාරි මාසේ මම එහේ කරපු සංචාරෙකදී මේ කාර් ටික දැක්කා MBK Center එකේ පල්ලෙහාදී. අවාසනාවකට මම යනකොට උත්සවේ ඉවර වෙලා. නමුත් කාර් ටික එතන තිබුණා. 

අපේ රටේ කට්ටිය රැලි ගැන උනන්දු නැතත් ඉතින් ස්ටිකර් ගහන්න රුසියෝ නේ. ඒ නිසා මේ පින්තූර ටික මෙතන පළකරනවා. 

මේ සමහරක් වාහන අලුත් කාර්ම නොවෙන්න පුළුවන්. ඒත් මේවා ක්ලැසික් කැටගරියට දාන්නත් අමාරුයි. සාමාන්‍යයෙන් මෝටර් රථ ධාවන තරග ගැන වැඩියෙන් උනන්දු අලුත් කාර් වලට උනන්දු වෙන අයම නිසයි මේක මේ බ්ලොග් එකේ දාන්නේ. බලන්නකෝ කොහොමද කියලා. 






























Sunday, May 15, 2016

සුබාරු මවු සමාගමේ නම වෙනස්වෙයි



සුබාරු කියන්නේ අපි කවුරුත් දන්න කාර් බ්‍රෑන්ඩ් එකක්. නමුත් සුබාරු කාර් හදන මවු සමාගමේ නම ෆූජි හෙවි ඉන්ඩස්ට්‍රීස් (Fuji Heavy Industries) බව දන්නේ බොහොම ටික දෙනයි. හැබැයි දැන් ඒ දැනුම වැඩකට නැති දැනුමක් වේවි. මොකද ෆුජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ නම සුබාරු කෝපරේෂන් (Subaru Corp.) කියලා වෙනස් කරන්න සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරලා තියනවා.



මේ ආරංචිය අපි බොහෝ දෙනෙක් දැනගත්තේ පහුගිය 12 වෙනිදා (2016 මැයි 12). පහුගිය අවුරුදු කිහිපය තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේදී වාර්තාගත අලෙවියක් වාර්තා කරන්න සුබාරු සමත් වෙලා තියනවා. 2017 මාර්තු මාසය වෙද්දී මේ මූල්‍ය වර්ෂයේ සමස්ත අලෙවිය මිලියනය පහුකරාවි කියලා තමයි දැනට අනාවැකි පළවෙලා තියෙන්නේ. සමාගමේ 4 වෙනි කාර්තුවේ ශුද්ධ ආදායම කලින් වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව 38% කින් වැඩිවෙලා තියන බව ඔටෝ නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළා.

මේ විදිහට නම වෙනස් කරන්න තීරණය කිරීම බොහොම සුවිශේෂී තීරණයක්. මොකද මෙච්චර කල් ෆුජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම කාර් නිෂ්පාදනය තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත විදිහට සැලකුවේ නැහැ. ඔවුන් ඉස්සර ඉඳන්ම ගුවන් යානා හා හෙලිකොප්ටර් සම්බන්ධ නිෂ්පාදන නිපදවපු සමාගමක්. නමුත් මේ විදිහට මෝටර් වාහන අලෙවිය වැඩිවීම සහ නම වෙනස් කිරීමත් එක්ක මෝටර් රථ නිෂ්පාදනය තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරය බවට පත්වෙන බව සමාගම නිවේදනය කර තියෙනවා.

ෆූජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගමට මුල්වුණු ව්‍යාපාරය මුලින්ම ආරම්භ වුණේ 1915 දී ගුවන්යානා පර්යේෂණ විද්‍යාගාරයක් විදිහට Chikuhei Nakajima ගේ ප්‍රධානත්වයෙනුයි. 1932 දී ඒක නකජිමා ගුවන් යානා සමාගම (Nakajima Aircraft Company Ltd) විදිහට ප්‍රතිසංවිධානය කෙරුණා. මේක දෙවෙනි ලෝක යුද්ධයේදී ජපානය වෙනුවෙන් ගුවන් යානා නිපදවපු ප්‍රධානම සමාගමක්. නමුත් ලෝක යුද්ධෙන් පස්සේ ජපානෙට ගුවන් යානා හදන්න අවසර ලැබුණේ නැහැ. ඒ නිසා සමාගම ෆූජි සැංග්යෝ සමාගම (Fuji Sangyo Co. Ltd) විදිහට වෙනස් වෙලා ෆුජි රැබිට් ස්කූටර් එක හදන්න පටන් ගත්තා.



1950 ජපන් රජය ක්‍රියාත්මක කරපු ආයතනික ණය ප්‍රතිසංවිධාන පනත නිසා මේ සමාගම ආයෙත් වෙනවෙනම කොටස් 12 කට කැඩුණා. ෆුජි හෙවි ඉන්ඩස්ට්‍රීස් ආරම්භ වුණේ 1953-1955 කාලයේදී මෙයින් සමාගම් 5 ක් එකතුවෙලයි. මේ සමාගම් 5 සහ ඒවා එකතු කරගත්තු ෆුජි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම නිරූපණය කරන්න තමයි සුබාරු ලාංඡනයේ තරු 6 ක් දක්වලා තියෙන්නේ. මේ ලාංචනය පරිණාමය වුණු හැටි මේ පහළ තියෙන රූපයෙන් දැක්වෙනවා.




මේ සමාගම 1954 දී මුලින්ම සුබාරු 1500 කියන කාර් එක හඳුන්වලා දුන්නා.




1958 දී තමයි සුබාරු 360 කියන කාර් එක ආවේ. මේ කාර් එක ඇමරිකාවටත් ආවා. නමුත් ඒතරම් සාර්ථක වුණේ නැහැ.


මෙහෙම ගමනක් ඇවිල්ලා තමයි ෆුජි හෙවි ඉන්ඩස්ට්‍රීස් අද වෙනකොට WRX වගේ වාහන හදන සමාගමක් බවට සහ මේ තරම් ලාභ ලබන සමාගමක් බවට පත්වෙලා තියෙන්නේ. ඉතින් මේ තරම් සංකීර්ණ ඉතිහාසයක් තියෙද්දී නම වෙනස් කරනවා කියන එකත් ටිකක් සංකීර්ණ තීරණයක් තමයි. මේ සංකීර්ණ තීරණයත් එක්ක වෙන වෙනස්කම් මොනවාද කියලා සුබාරු ෆෑන්ස්ලා බලාගෙන ඉන්නවා.


Saturday, May 14, 2016

Mitsubishi Evo X- සොඳුරු දඟකාරයාගේ නික්ම යාම



මම පාපොච්චාරණයකින් පටන් ගන්නම්. මම සීරියස් මිට්සුබිෂි ෆෑන් කෙනෙක්. මගේ පළවෙනි කාර් එක ලාන්සර් බොක්ස් එකක්. ඒ නිසා හැමදාමත් මිට්සුබිෂි ගැන පොඩි ආදරයක් මගේ හිතේ තිබුණා. ඒ ආදරය ක්‍රමයෙන් බරපතළ ලාලසාවක් බවට පෙරළුණේ Mituishi Evolution හෙවත් Evo නිසා. කවදාහරි Evo එකක් ගන්න හීනය මටත් තිබුණා. නමුත් 2007 ජපානේදී Evo X දියත් වෙනකොට මේ එන්නේ අවසන් Evo පරම්පරාව බව අපි දැනගෙන හිටියා. මම හිතන්නේ Evo එක නවත්තන්න එපා කියලා මිට්සුබිෂි සමාගමට බලපෑම් කරන්න සෑහෙන පිරිසක් උත්සාහ කරන්න ඇති. ඒ වුණත් වැඩක් වුණේ නැහැ.

කොහොම වෙතත් 2007 දී (සහ පිටරටවල 2008 දී) Evo Xවෙළඳපොළට ආවත් ඊට පස්සේ 2016 වෙනකල් ඒකෙ ප්‍රධාන versions දෙකක් ඇමරිකාවේ වෙළඳපොළට ආවා. ඒ තමයි Evo fans ලා දන්නා GSR සහ MR කියන versions දෙක. මේ දෙකත් 2016 න් පස්සේසේ ආයේ එන්නේ නෑ. මේ කාර් ගැන, ඒවායේ specs ගැන කතාකරන්න ගොඩක් දේවල් තියනවා. නමුත් මගේ අරමුණ (මේ බ්ලොග් එකේ අරමුණ) ටෙක්නිකල් දේවල් කතා කරන එක නෙමෙයි. කාර් සංස්කෘතිය එක්ක බැඳුණු හැඟීම් ගැන කතා කරන එක තමයි මගේ ටාගට් එක.

Evo එක හඳුන්වලා දෙද්දී මිට්සුබිෂි එකේ සභාපති බොහොම වැදගත් දෙයක් කිව්වා. ඒ තමයි Evo එකේ අරමුණ Super Car එකක් ගන්න බැරි අයට අඩු මුදලකට Super කාර් අත්දැකීම ලබාදෙන එක කියලා. එයා කිව්වේ එයාටවත් ඒ වෙද්දී වෙළඳපොළේ තියන Super Car මිලදීගන්න සල්ලි නැහැ, ඒ නිසා ඒ අත්දැකීම පොදු ජනතාවට සමීප කරන්න එයා හිතුවා කියන එක. 10 වැනි ජෙනරේෂන් එක එද්දී නම් Evo එක මිල අධික වාහනයක් වෙලා තිබුණා. නමුත් අදටත් ලංකාවේ අපටත් Evo iv වගේ එකක් සාධාරණ මුදලකට ගන්න පුළුවන් (ගොඩක් ඒවා conversions බව ඇතත්. ඒත්...).

කාර් ගැන ගොඩක් ආසා අයට Top Gear කියන්නේ ආගන්තුක දෙයක් නෙමෙයි. ජෙරමි ක්ලාක්සන් ලොක්කා වෙන්න, ඒ කියන්නේ New Top Gear පටන් ගන්න  කලින් Top Gear එක ටිකක් sensible වැඩසටහනක්. ඒ කාලේ ටිෆ් නීඩෙල් සහ ක්වෙන්ටින් විල්සන් එකතුවෙලා ජපන් ස්පෝර්ට්ස් කාර් ගැන කරපු පොඩි සේග්මන්ට් එකක් තියනවා. ඒක ඔයාලට Youtube එකේ බලන්න පුළුවන්. ඒකෙදී ටිෆ් අපට පෙන්නනවා Evo i එක කොච්චර surprise එකක්ද කියන එක.

Evo එකේ සාර්ථකත්වයටහොඳම උදාහරණය තමයි Subaru Impreza WRX STi එක ගොඩක් වෙලාවට පසුබිමට තල්ලු කරලා දාන්න ඒක සමත් වීම. වරදවා තේරුම් ගන්න එපා, Subaru Impreza WRX සහ WRX STi versions ඇවිල්ලා සුපිරි කාර් (දැන් Subaru සමාගම Impreza නම පාවිච්චි කරන්නේ නැහැ. දැන් එන්නේ WRX කියලා). නමුත් සුබාරු එක ඉක්මවලා යන මොකක්දෝ විශේෂයක් හැමතිස්සෙම Evo එකේ තිබුණා. මේක ඔයාලට Top Gear, Fifth Gear ඇතුළු ඕනෑම වැඩසටහනක වගේම ඒ සම්බන්ධ ඕනෑම ලිපියක දැකගන්න පුළුවන්. අපි දුක් වෙන්නේ මේ තරගය නැතිවෙන එකටයි. මේක නිසා සුබාරු එකත් වැඩේ හෑල්ලුවට ගත්තොත්? තරගකාරයො නැතිවුණාම නිෂ්පාදන බාල වෙන බව අපි ඕන කෙනෙක් දන්නවා.

Evo එක වෙනුවට අනාගතයේදී Pulg-in Hybrid වර්ගයේ අධිවේගී වාහනයක් හඳුන්වලා දෙන බවයි මිට්සුබිෂි සමාගම කියන්නේ. කාර් කොම්පැනි සාමාන්‍යයෙන් බයිලා කියලා ඊට පස්සේ ලිස්සලා යන්න දක්ෂයි (මතකද එක පාරක් ලෝටස් සමාගම අලුත් කාර් 5 ක් එකපාර එළියට දානවා කිව්වා? අන්තිමට බොසාවත් දොට්ට දාලයි වැඩේ නතර වුණේ). ඒ නිසා මිට්සුබිෂි ෆෑන්ස්ලා හැටියට අපට බයක් තියනවා. විශේෂයෙන්ම මිට්සුබිෂි සමාගම මේ දවස්වල වැඩි අවධානයක් යොමුකරන්නේ SUV/Crossover වර්ගයේ වාහන ගැන. Evo එක වෙනුවට එන වාහනෙත් බොහෝ දුරට මේ වර්ගයේ එකක් බවයි එයාලා අපට ඉඟි කරන්නේ. නමුත් ඔය මොන දේවල් කිව්වත් කාර් එකකින් ගන්න thrill එක ජීප් එකකින් ගන්න බෑ. ජෙරමි ක්ලාක්සන්ගේ බාසාවෙන් කියනවා නම් 'කාර් හැන්ඩ්ල් කරනවා, ජීප් පෙරළෙනවා!'

මේ ලිපිය ලියලා ඉවර වෙලා මම කල්පනා කරන්නේ  වැඩිපුර සල්ලි හොයන ක්‍රමයක් ගැනයි. මට දැන් කොහොම හරි අඩු තරමින් Evo iv එකක් වත් ගන්න ඕනකමක් තියනවා....

Sunday, May 8, 2016

හොන්ඩා රිජ්ලයින්




මේ දවස්වල අලුත් කාර් ලෝකේ නිතර කතාවෙන අලුත් කාර් එකක් තමයි හොන්ඩා රිජ්ලයින්. හොන්ඩා රිජ්ලයින් 2nd Generation pickup එක එන ජූනි මාසේදී වෙළඳපොළට එනවා. හොන්ඩා සමාගම මේ විදිහට තමන්ගේ රිජ්ලයින් පිකප් එකේ අලුත් වර්ෂන් එක වෙළඳපොළට හඳුන්වලා දෙන්නේ අවුරුදු 2 ක ගැප් එකකට පස්සේ.

පරණ රිජ්ලයින් පිකප් එක එච්චර ජනප්‍රිය එකක් වුණේ නැහැ. පළවෙනි ගැටලුව තමයි ඒක් එච්චර ලස්සන පිකප් එකක් නොවීම. ඒකෙ බෙඩ් එකේ අමුතුහැඩයක් තිබුණු නිසා කට්ටිය ඒක ගන්න අදිමදි කළා. සාමාන්‍යයෙන් පිකප් එකක ටිකක් aggressive පෙනුමක් තියනවනම් තමයි පාරිභෝගිකයෝ කැමති. ඒ වගේම පරණ රිජ්ලයින් එකේ බලයත් එච්චර දුරකට ප්‍රමාණවත් වුණේ නැහැ. නමුත් මේ ගැටලු බොහොමයක් ජයගන්න අලුත් රිජ්ලයින් එක සමත් වෙලා තියනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ.මේක ඇත්තද බොරුද කියලා අපට ජූනි මාසෙන් පස්සේ බලාගන්න පුළුවන් වේවි.

අලුත් රිජ්ලයින් එකේ ප්‍රධාන ලක්ෂණ 4 ක් හොන්ඩා සමාගම ප්‍රකාශයට පත්කරලා තියනවා.මේවා මොනවාද කියන එක මම ඔයාලගේ දැනගැනීම සඳහා මේ විදිහට සටහන් කරනවා.

1. ට්‍රක් බෙඩ් ඕඩියෝ සිස්ටම් එක - මෙන්න විනෝදෙන් ඉන්න, සවාරි ගහන, සෙට් වෙලා බාබකියු දාන අයට හොඳ ආරංචියක්. රිජ්ලයින් එකේ ට්‍රක් බෙඩ් එකේ ඕඩියෝ සිස්ටම් එකක් තියනවා. ඒ නිසා එලියට වෙලා විනෝදෙන් ඉන්න අතරෙත් සින්දු අහන්න පුළුවන්. ආයේ අලුතින් ඕඩියෝ සිස්ටම් ගහලා ඉඩ අහුරගන්න ඕනේ නැහැ.

2. ද්විත්ව ක්‍රියාකාරී ටේල්ගේට් එක- මෙච්චර කල් ආපු හැම ට්‍රක් එකකම ටේල් ගේට් එක අරින්න තිබුණේමොකක් හරි එක ක්‍රමයයි. ඒත් දැන් තැනේ හැටියට ඇණේ ගහන්න පුළුවන් ක්‍රමයක් හොන්ඩා රිජ්ලයින් එක හඳුන්වලා දීලා තියෙනවා. ඒ අනුව කැමති විදිහට ටේල් ගේට් එක පහළට හරි පැත්තට හරි ඕපන් කරන්න පුළුවන්. මේක ගොඩක් දෙනෙක්ට අපූරු අත්දැකීමක් වේවි.

3. ඉන්-බෙඩ් ට්‍රන්ක් එක- රිජ්ලයින් එකේ තට්ටුවට යටින් ඉඩකඩ තියෙන කුටියක් තියනවා. ඒකෙ ඔයාලට වටින දේවල් දාලා ලොක් කරලා තියන්න වගේම අයිස් පුරෝලා ජංගම ෆ්‍රිජ් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම drain plug එකක් තියන නිසා ඕන වෙලාවට ආයේ වතුර අස් කරන්න දඟලන්නේ නැතුව නිකම්ම වතුර ටික යවලා දාන්නත් පුළුවන්.

4. ඇකිලෙන පිටිපස්සේ සීට්- පිටිපස්සේ සීට් හොඳට අකුලන්න පුළුවන් එකත් රිජ්ලයින් එකේ තියන වාසියක්. ඒ නිසා ටිකක් පරිස්සමෙන් ගෙනියන්න ඕනේ බඩු ගත්ත වෙලාවකට අරන් යන්නේ කොහොමද කියලා වදවෙන්නේ නැතුව කෙළින්ම පිටිපස්සේ සීට් එක අකුලලා බඩු ටික එකතින් තියන්න පුළුවන්. කොහොමද වැඩේ?

වාහනේ ක්‍රියාකාරීත්වය සහ හැන්ඩ්ල් කරන හැටි වගේ දේවල් ගැන දැන්ම කියන්න බැහැ. දැනට තියන විස්තරවල හැටියට නම් වාහනේ හොඳට තෙල් වැඩකරනවා. ඇති තරම් ඉඩකඩත් තියනවා. අනික් විස්තර අපට ලැබෙන හැටියට බලමු.

(ඡායාරූපය ගත්තේ හොන්ඩා වෙබ් අඩවියෙන්)